Tuesday, March 11, 2014


එ.ජා. රටවල් ශ්‍රී ලංකාවට එරෙහි කරවා ගැනීමට කැමරන් දැඩි පරිශ්‍රමයක

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු රටවල් 5ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සහය දක්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන රටවල නායකයින් වෙත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ලිපියක් යවා තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරන්නේ, අදාළ යෝජනාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන රැස්වීමට පෙර ඊට සහය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය දැඩි පරිශ්‍රමයක යෙදී සිටි බව ය.
අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව ම අදාළ රටවල නායකයින්ට ලිපියක් යවා ඇති අතර එම යෝජනාවට සහය වීම තුළින් ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව හා මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ළඟා කර ගැනීමට හේතුවනු ඇතැයි ද ඇය පවසා තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජාතික මානව හිමිකම් ආයතනයන්හි වාර්ෂික රැස්වීම අද ජිනීවා නුවරදී ආරම්භ විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජාතික මානව හිමිකම් ආයතන 24ක් වෙනුවෙන් පැමිණෙන නියෝජිතයෝ පනස් දෙනෙකු මෙම රැස්වීමට සහභාගි‍ වෙති.
පසු ගිය නොවැම්බරයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති කර ගත් පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක් පිළිබඳව උපදෙස් දීම සම්බන්ධයෙන් අදාළ මානව හිමිකම් ආයතනවල භූමිකාව මෙම රැස්වීමේදී අවධානයට ලක්වෙනු ඇති.
මානව හිමිකම් සුරකින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හොඳ ම පියවර සහ මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී  අවධානය යොමු ‍කෙ‍රිණ.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් යෝජිත ස්වාධින ජාත්‍යන්තර විමර්ශනයකට සහය දෙන ලෙස නවසීලන්තයේ තුන්වැනි විශාලත ම පක්ෂය වන හරිත පක්ෂය එරට රජයෙන් ඉල්ලා සිටී.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව වගවීම සහ ආරක්ෂාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී නවසිලන්තයට අවස්ථාවක් උදාකර දී ඇතැයි හරිත පක්ෂයේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශිකා ජෑන් ලොගී පවසන්නී ය.
ඇය සඳහන් කරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින නවසීලන්ත නියෝජිතයින් මානව හිමිකම් කඩවීමේ චෝදනා පිළිබඳ ස්වාධීන විමර්ශනයක් වෙනුවෙන් සහය පළ කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගත යුතු බව ය.
ශ්‍රී ලංකා රජය අභ්‍යන්තර වශයෙන් ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසා කටයුතු නොවන බව පෙන්වා දෙන ජෑන් ලොගී වැඩි දුර ට ත් පවසන්නේ, පසුගිය වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් නවසීලන්තය හඬක් නැඟීමට අපොහොසත් වීම ලැජ්ජා සහගත බව ය.

http://newsfirst.lk/sinhala/

0 comments :

Post a Comment