ශ්‍රී ලංකාව වර්තමානය වන විට නාස්‌තියෙන් පිරුණු මත්කුඩු හා එතනෝල්වල රාජධානියක් බවට පත්ව ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට විශාල ආර්ථික කඩාවැටීමකට ලක්‌ව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ජනතා විමුක්‌ති පෙරමුණේ "අපේ දැක්‌ම" ප්‍රතිපත්ති මාලාව අනුරාධපුර ජනතාවට හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.
මෙම සම්මන්ත්‍රණය පසුගිය 20 වැනිදා අනුරාධපුර නගරයේ අංක 02 ප්‍රජාශාලාවේදී පැවැත්විණි.
මේ රට බලශක්‌ති, ගුවන්, නාවික, සංචාරක හා වාණිජ අංශ ඔස්‌සේ ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට පත්කරන බව ආණ්‌ඩුවේ ප්‍රබලයන් පැවසුවත් අද වන විට එම කේන්ද්‍රස්‌ථාන වෙනුවට නව අර්බුද පහක් නිර්මාණය වී තිබෙන බව ද හෙතෙම කීවේය.
මෙහිදී වැඩිදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.
අප පක්‍ෂයේ හත්වැනි ජාතික මහා සමුළුවේදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලය සහ මධ්‍යම කාරක සභාව මූලික කරගෙන රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන වැදගත් දේශපාලන යෝජනා ගණනාවක් සම්මත කරගත්තා. මේ අනුව මේ රට ගොඩනැගීම පිළිබඳව ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට අපි තීරණය කළා.
අද වන විට අපේ රට මුහුණ දී තිබෙන අභියෝග අනුව රට ඉදිරියට ගෙනයැමට පුළුවන්කමක් නෑ. මේ ප්‍රශ්න විසඳීමට රාජපක්‍ෂ මහත්තයට පුළුවන්කමක් නෑ. 2010 දී රාජපක්‍ෂ මහත්තයා කිව්වා මේ රට කේන්ද්‍ර පහක් ඔස්‌සේ කේන්ද්‍රස්‌ථාන පහක් බවට පත්කරනවා කියලා. ඒ තමයි බලශක්‌ති දැනුමේ, ගුවන්, නාවික සහ වාණිජ වැනි කේන්ද්‍රස්‌ථාන. ඊට පසු චෝගම් සමුළුවේදී කිව්ව මේ රට සංචාරක කේන්ද්‍රස්‌ථානයක් කරනවය කියල.
දැන් එම කේන්ද්‍රස්‌ථානවලට මොකද වෙලා තියෙන්නෙ. බලශක්‌ති කේන්ද්‍රය, විදුලිබල මණ්‌ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව එහි මූලික වෙන්නෙ. 2011 සහ 2012 ගත වූ වර්ෂ දෙකේ පාඩුව රුපියල් අටදහස් හතළිස් දෙකයි. රටේ ජනගහනයෙන් ලක්‍ෂ දහහතකට සමෘද්ධි සහනාධාරය දීමට ආණ්‌ඩුව වෙන් කළේ රුපියල් කෝටි එක්‌දහස් එකසියයයි. ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට වෙන් කළේ රුපියල් කෝටි සියයයි. රෝහල්වල බෙහෙත් දීමට වෙන් කළේ රුපියල් එක්‌දහස් තුන්සියයයි. මේකද බලශක්‌ති කේන්ද්‍රය.
ඊළඟට මහින්ද මහත්තයා කිව්ව මේ රට ගුවනේ කේන්ද්‍රයක් බවට පත්කරනව කියල. එයාර් ලංකා ගුවන් සමාගමේ ගත වූ වර්ෂ තුනේ පාඩුව රුපියල් කෝටි හත්දාහයි. මිහින් ලංකා ගුවන් සමාගමේ පසුගිය අවුරුදු තුනේ පාඩුව රුපියල් කෝටි හයසිය තිස්‌තුනයි. මහින්ද මහත්තය හදපු මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා එන්නේ නෑ. ලෝකයේ ඕනෑම ගුවන්තොටුපළකට ගුවන් යානයක් ගොඩබෑමට මුදල් අයකරනවා. කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානයක් ගොඩබෑමට ඇමරිකන් ඩොලර් පන්දාහක මුදලක් අයකරනවා. සිංගප්පූරුවේ ගුවන්තොටුපළට ගුවන් යානයක් ගොඩබෑමට ඇමරිකන් ඩොලර් අටදාහක මුදලක් අයකරනවා. හැබැයි මත්තල ගුවන්තොටුපළේ ඒ සඳහා සතයක්‌වත් ගන්නේ නෑ. දැන් එහෙම නම් මේ රට ගුවන් කේන්ද්‍රයක්‌ද?
ඉන් පසුව කිව්ව මේ රට වාණිජ කේන්ද්‍රයක් බවට පත්කරනව කියල. ඒකට නම් මොකුත්ම කියන්න හොඳ නෑ. ඒක දැන් රට පුරා හොඳට කෙරිල තියෙනවා. ඒ තමයි මත්කුඩු හා එතනෝල් කේන්ද්‍රය. හම්බන්තොට වරායයි කොළඹ වරායයි සම්බන්ධ කර මේ රට නාවික කේන්ද්‍රයක් බවට පත් කරනවා කිව්වා. කොළඹ වරායේ ජැටිය දුන්න චීනයට. එය පසුගියදා විවෘත කළ අවස්‌ථාවේ කිව්ව මම ලංකා සිතියම වෙනස් කළා කියල. චීනා සිංහල නොදන්න නිසා හොඳයි. වර්ෂ 2042 දී තමයි ඒ ජැටිය ලංකාවට අයත් වෙන්නෙ. කොළඹ වරායට එන සියලුම ලොකු නැව් එන්නෙ චීනගෙ ජැටියට. එතකොට මේක අපේ නාවික කේන්ද්‍රයද? චීනාගේ නාවික කේන්ද්‍රයද? හම්බන්තොට වරායක් හැදුවා. දැන් කොළඹ වරායට එන සියලුම නැව් හම්බන්තොට වරායට හරවා යවනවා. මෙහෙම නාවික කේන්ද්‍රවලින් වැඩක් තියෙනවද?
අනතුරුව කිව්ව මේක දැනුමේ කේන්ද්‍රය බවට පත්කරනව කියල. එහෙම කියපු මහින්ද මහත්තය දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් හරි අඩකට වඩා කප්පාදු කර තිබෙනවා. ඉදිරියේදී ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම හැරුණු විට අනෙකුත් සියලු වියදම් දෙමව්පියන් ගෙවිය යුතු බවට නියම කරමින් පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කිරීමට යනවා. පාසල් සංවර්ධන සමිතිවලට මේ චක්‍රලේඛය එයි. තමුන්නාන්සේලා ඊට එකඟ වෙන්න එපා. අපේ රටේ අධ්‍යාපන වියදම් කප්පාදු කර දෙමව්පියන් මත ඒ බර පටවා දැනුමේ කේන්ද්‍රය කිරීමට යන්නෙ.
දැන් මේ කේන්ද්‍ර පහ වෙනුවට මේ වන විට අර්බුද පහක් නිර්මාණය වී තිබෙනවා. එය විශාල ආර්ථික කඩාවැටීමකට හේතු වී තිබෙනවා. ගිය වසරේ ආණ්‌ඩුවේ සමස්‌ත ආදායම ඩොලර් බිලියන එක්‌දහස් පනස් එකයි. හැබැයි ආණ්‌ඩුව ලබාගෙන තිබෙන ණයවලට පොලී ගෙවා තිබෙනවා, ඩොලර් බිලියන එක්‌දහස් හැත්තෑහතරක්. ආණ්‌ඩුවේ මුළු ආදායම දැන් ණය පොලිය ගෙවන්නත් මදි. අවුරුදු නවයක් රට පාලනය කළ රාජපක්‍ෂ මහත්තය රට විශාල බංකොළොත්භාවයකට ගෙනැවිත් තිබෙනවා. මේ නිසා මේ රට ඉතිහාසයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
මෙහිදී ජනතා විමුක්‌ති පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක ලංකා ගුරු සේවා සංගමයේ සභාපති අරුණ දිසානායක මහතා ද කතා කළේය.
http://www.divaina.com/2014/02/24/news37.html
10:42 PM
slnews
.jpg)
0 comments :
Post a Comment