Sunday, March 9, 2014

දකුණ් ප්‍රබල පාතාල නායකයකු මෙන්ම මෙරටට හෙරොයින් රැගෙන ඒමේ ප්‍රබලයකු ද වන තමිල් අජිත් කුමාර හෙවත් තමිල් නොහොත් දෙවුන්දර චමිල් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු පෙරේදා (08දා) අලුයම සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළේදී රහස් ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු විසින් හෙරොයින් ජාවාරමෙන් ලද මුදල්වලින් කෝටි ගණනක දේපළ මිලදී ගෙන තිබූ අතර පසුගියදා මොහු සම්බන්ධව සියලු රහස් අනාවරණය වීමත් සමග මොහුගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ‍පොලිසිය කටයුතු කළේය.

මොහු විසින් සිය ඥාතීන්ගේ නමට ඉඩම් අක්කර ගණිනින් මිලදී ගෙන ඇති අතර එසේම ඔහුගේ නමට දකුණේ හෝටල් කිහිපයක්ද ලබාගෙන ඇති බව සඳහන් වේ. මොහු විදෙස්ගත වන විට මොහුගේ නමට හමර් වර්ගයේ ජීප් රථ දෙකක් තිබි ඇත. එකක වටිනාකම ලක්ෂ 400ක් වන බව  සඳහන් වේ. එමෙන්ම මොහුට ධීවර යාත්‍රා 10ක්ද තිබි ඇති අතර එම ධීවර යාත්‍රා යොදාගෙන හෙරොයින් රැගෙන විත් ඇති බව සඳහන් වේ. 

2013 වසරේ නොවැම්බර් මාසයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී හොර රහසේම දෙවුන්දර තමිල් විදෙස් ගත විය. එලෙස විදෙස් ගතවීමත් සමග එම කාලයේම හෙරොයින් කිලෝ 30ක් සමග ලයිබිරීයානු ජාතිකයෙක් මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. මොහුගේ හෙළිදරව්ව මත මෙම හෙරොයින් ජාවාරමේ තවත් ප්‍රබලයකු වන වසන්ත මෙන්ඩිස් හෙවත් සේල් වසන්ත අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් විය. එහෙත් ඒ වන විටත් ඔහුද විදෙස්ගත වී තිබේ. පසුව වසන්තගේ ගෝලයන් වන චමල්ද බවුසර් දූෂ්‍යන්ත ද ඔස්ටින් ද අසුවූයේ හෙරොයින් කිලෝ 10ක් සමගය.

ඔවුන්ගේ හෙළිදරව්ව මත වසන්තගේ හෙරොයින් ජාවාරමට හෙරොයින් රැගෙන එන්නේ දෙවුන්දර තමිල් බව හෙළි විය. තමිල් විසින් මාසයකට හෙරොයින් කිලෝ 500ක ප්‍රමාණයක්  රැගෙන එන බවද අනාවරණය විය.ඒ අනුව හෙරොයින් ගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත් වූ ඔහුගේ ගෝලයකු වන සම්පත්ද එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්වන විට තමිල් ඔහු විසින් සිදු කරන ලද මිනීමැරුමේ සාක්කිකරුවන්ට එතෙර සිට මරණ තර්ජනය සිදුකළේ එම ඝාතනය පිළිබඳව සාක්කි ලබා නොදෙන ලෙස තර්ජනය කරමිනි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂණ සිදුකරන අතරතුර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ සම්පත්ද එරට රජය විසින් මෙරටට එවූ අතර එහිදී ඔහුද රහස් ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.කෙසේ වෙතත් මොවුන් අත්අඩංගුවට ගැනීමත් සමග තමිල් මෙරට හෙරොයින් ජාවාරමේ මහා මොළකරු බවට අනාවරණය විය.

තමිල් පිළිබඳව පරීක්ෂා කිරීමේදී තමිල් විදෙස්ගතවී ඇත්තේ ඔහු විසින් සකසන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා බවද අනාවරණ විය. ඒ සඳහා ඔහු විසින් ව්‍යාජ අත්සනක් සහ තමන්ගේ නියම ස්වරූපය වෙනස්වන ආකාරයේ ඡායාරූපයක්ද යොදාගෙන තිබුණි.

අත්අඩංගුවට ගන්නා විටද සැකකරු මෙරටට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් යොදාගෙන බව ද සඳහන් වේ.මේ වන විට දෙවුන්දර තමිල් රැඳවුම් නියෝග යටතේ පරීක්ෂණ කණ්ඩායම් ප්‍රශ්න කරමින් සිටී.
ගයාන් ගාල්ලගේ
http://www.rivira.lk/

0 comments :

Post a Comment