Tuesday, March 11, 2014



රත්නපුර මලංගම ප්‍රදේශයේදී 2014 පෙබරවාරි 13 වැනිදා ධනවත් මැණික්‌ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් 22 කට සම්බන්ධ පාතාල ප්‍රබලයකු වූ "පාලන්කඩ හීන් මල්ලී" නමැත්තා පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (11 වැනිදා) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේදී මරුමුවට පත්විය.

මෙම අපරාධකරු වෙඩි තබා ඝාතනය කළ පුවත සැළවීමත් සමඟම රත්නපුර ප්‍රදේශයේ ජනතාව පැය කිහිපයක්‌ තිස්‌සේ රතිඤ්ඤා පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළහ.

මලන්ගම මැණික්‌ ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කර රුපියල් පහළොස්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධ නාමල් නමැති අපරාධකරුවකු ද මේ වන විට රත්නපුර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අරුණගම ගමගේ සුගත් චමින්ද නොහොත් "පාලන්කඩ හීන් මල්ලී" නමැති මෙම අපරාධකරු මිනිස්‌ ඝාතනවලට අමතරව මහා පරිමාණ කොල්ලකෑම් (40) හතළිහකට අධික ප්‍රමාණයකට සම්බන්ධ බවට පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. රත්නපුර මලංගමදී මැණික්‌ ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරු තමන්ට අයත් ආයුධ කිහිපයක්‌ පෙන්වීමට රැගෙන යද්දී පොලිස්‌ නිලධාරීන්ට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර පලායැමට උත්සාහ කර ඇත. ඒ අවස්‌ථාවේ රත්නපුර පොලිසියේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් අපරාධකරු බරපතළ තුවාල ලැබීය.

පසුව ඔහු රෝහල්ගත කිරීමට රැගෙන යද්දී මියගොස්‌ තිබේ. ඉකුත් පෙබරවාරි මස 13 වැනිදා රත්නපුර මලංගම ප්‍රදේශයේදී සුමිත් ගුණසේකර නමැති ධනවත් මැණික්‌ ව්‍යාපාරිකයා ඝාතනය කරනු ලැබුවේ හීන් මල්ලී ඇතුළු සන්නද්ධ පාතාල කණ්‌ඩායම විසින් බව පරීක්‍ෂණවලින් හෙළිදරව් විය.

සුමිත් ගුණසේකර මහතා සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ මෝටර් රථයෙන් රත්නපුර මලංගම නිවසට එමින් සිටියදී ඔහු පසුපස වෑන් රථයකින් පන්නාගෙන ආ හීන් මල්ලී ඇතුළු අපරාධකරුවෝ නිවස ඉදිරිපිටදීම ඔහුට පහර දුන්හ. ඒ අවස්‌ථාවේ සුමිත් ගුණසේකර මහතා සන්නද්ධ කොල්ලකරුවන් සමඟ පොර බදා ඇති අතර හීන් මල්ලී නමැත්තා ඔහුට වෙඩි තබා තිබේ. මොවුන් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබුවේ ගුණසේකර මහතාගේ බිරිඳ හා දරුවන් බලා සිටියදීය. වෙඩි තැබීම සිදු කළ අපරාධකරුවන් ගුණසේකර මහතා සතුව තිබූ රුපියල් පහළොස්‌ ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් මැණික්‌ තොගයක්‌ ද කොල්ලකාගෙන පලාගොස්‌ තිබේ. පාදය ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ගුණසේකර මහතා රෝහල්ගත කිරීමෙන් පසු මියගියේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ රත්නපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. වීරසිංහ, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අමරසිංහ ඇතුළු නිලධාරීන් මාසයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ වැටලීමකින් පසුව මෙම අපරාධකරුවන් දෙදෙනා හික්‌කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මෙහෙයුම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද පොලිසියට විශේෂ සහායක්‌ ලබා දී තිබේ. සැකකරු රත්නපුර පොලිසියට රැගෙන ගොස්‌ ප්‍රශ්න කිරීමේදී මැණික්‌ ව්‍යාපාරිකයා ඝාතනයට යොදාගත් ගිනි අවිය රත්නපුර මාවලවත්ත රබර් ඉඩමේ සඟවා තිබෙන බව හෙළිකර තිබේ. සැකකරු වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ එම ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගිය අවස්‌ථාවේදීය.

වීරකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ පාතාල කණ්‌ඩායමට නායකත්වය දෙමින් සිටියේ පාලංකඩ හීන් මල්ලී නමැති මෙම අපරාධකරුය.

පල්ලත්තර ජගත්, ලන්දවත්තේ බාලයා ඇතුළු අපරාධකරුවන් කීපදෙනකු මීට ඉහතදී මෙම පාතාල කල්ලියට නායකත්වය දුන් අතර ඔවුන් කලකට උඩදී ඝාතනයට ලක්‌විය. එම පාතාල ප්‍රබලයන් ඝාතනයට ලක්‌වීමෙන් පසුව හීන් මල්ලී මෙම පාතාල කල්ලියට නායකත්වය දුන්නේය.

වීරකැටිය ප්‍රදේශයේ වඩු කාර්මිකයකු ලෙස ජීවිකා වෘත්තිය ආරම්භ කළ හීන් මල්ලී නමැත්තා පසු කලකදී මෙම කල්ලිය සමඟ එක්‌ වී දරුණු ගණයේ අපරාධවල නිරත වූහ. ආරවුලක්‌ මත තම සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

තිස්‌හතර වියෙහි පසු වූ හීන්මල්ලි නමැත්තා දෙදරු පියෙකි. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු, සහකාර පොලිස්‌ අධිකාරි සේනසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත රත්නපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක අමරසිංහ, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ලියනගමගේ පෙරේරා යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

දිවයින 
 

0 comments :

Post a Comment