Saturday, December 28, 2013

සැබෑ ආර්ථික වර්ධන වේගය 5.1%යි - අනුර කුමාර දිසානායක (පාර්ලිමේන්තු මන්ත්‍රී)


මුදල් අමාත්‍යාංශය යනු අපේ රටේ අනෙකුත් අමාත්‍යාංශ සියල්ල හසුරුවන අමාත්‍යාංශයයි. එය ඉතාම වැදගත් අමාත්‍යාංශයකි. පසුගිය කාලය තුළ මෙම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආණ්‌ඩුවේම කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන් විසින් ඔහුට ආර්ථීක ඝාතකයෙක්‌, බටහිර ගැත්තෙක්‌, අධිරාජ්‍යවාදී රටවල කුමන්ත්‍රණකරුවෙක්‌, මේ රටේ ආර්ථීකය සුනුවිසුනු කර දමන්නෙක්‌ යෑයි චෝදනා කරන ලදී. එසේ නමුත් අපේ රටේ අනෙක්‌ බලගතුම අමාත්‍යාංශය වන ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන්නේද මෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්මය. මෙයින් පෙන්නුම් කරන්නේ අන් කවරක්‌වත් නොව මේ රටේ ආර්ථීකයේ ඇතිවී තිබෙන අර්බුදයන්ට, බරපතළ අවදානම්කාරී තත්ත්වයන්ට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලපෑම ඉතාමත් අඩු බවය. එහෙත් ඔහුගේ බලපෑමක්‌ නැතුවාද නොවේ.



විශේෂයෙන්ම මේ ආර්ථීකය කඩාවැටීමට සහ ආර්ථීකය පත්වී තිබෙන අවදානම්කාරී තත්ත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ එක්‌ පවුලක්‌ සහ එම පවුලට සමීපතම කණ්‌ඩායමකි. අපේ රටේ කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමතිවරුන්ට තමන්ගේ යෝජනා, තීන්දු තීරණ, තමන්ගේ සංකල්ප හෝ තමන්ගේ ඉදිරි දැක්‌ම ඉදිරිපත් කොට සාකච්ඡා කිරීමට ඇති අවස්‌ථාව මේ වන විට අහිමි කරනු ලැබ තිබේ. එම නිසා පවුලට සහ පවුලේ සමීපතමයන්ට බිය ඇමතිවරු ගෙදර ඇති මුවහමට තඩිබාන්නා සේ පී. බී. ජයසුන්දර මහතාට තඩිබෑමට පෙළඹී සිටිති. එහෙත් විය යුත්තේ එය නොවේ.

අපේ රටේ ආර්ථීකයකට සෘජුවම බලපාන කොටස්‌ වෙළෙඳපොළ කුඩා කල්ලියක්‌ විසින් අත්පත් කරගනු ලැබ එහි වුවමනාවට හසුරුවනු ලැබෙමින් තිබේ. එමෙන්ම ප්‍රධාන ගනුදෙනු සියල්ල කුඩා කණ්‌ඩායමක්‌ අතට පත්වී තිබේ. අපේ රටේ ආර්ථීකයේ තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට්‌ මණ්‌ඩලය, පාර්ලිමේන්තුවේ ආණ්‌ඩුවේ මන්ත්‍රී කණ්‌ඩායම හෝ ආණ්‌ඩු පක්‌ෂයේ රැස්‌වීම හෝ නොවේ. එය සිදුකරනු ලබන්නේ ඉතාම කුඩා කල්ලියක්‌ විසිනි. සත්‍ය තත්ත්වය වනුයේ එයයි.

දැන් ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ, කිනම් තත්ත්වයක වුවද ආර්ථීක වර්ධන වේගය ඉහළ මට්‌ටමක පවත්වාගෙන යනවා යන්නය. ආණ්‌ඩුව තමන් විසින් රැකියා වියුක්‌ති අනුපාතය අඩු කර තිබෙන බවටත් ආර්ථීක දත්ත ඉදිරිපත් කරමින් සිටියි. මේ අතර ආණ්‌ඩුවෙන් ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් කාලයක්‌ තිස්‌සේ අපේ රටේ ජනතාව තුළ සැකයක්‌ දෙගිඩියාවක්‌ මතුවී තිබිණි. ආර්ථික වර්ධනය වේගය වැඩිවී ඇති බවටත් රැකියා නියුක්‌තිය වැඩිවී ඇති බවටත් ඒක පුද්ගල ආදායම වැඩිවී ඇති බවටත් ආණ්‌ඩුව දත්ත ඉදිරිපත් කළද එම ආර්ථීක සංවර්ධනය සාමාන්‍ය ජනතාව අතට ගලා එන්නේ නැත. එනිසා මෙම සංඛ්‍යා දත්ත ඇත්තද බොරුද යන කාරණය පිළිබඳ රට තුළ ගොඩ නැඟී තිබෙන්නේ සාධාරණ සැකයකි. මන්ද, මෙවැනි ආර්ථීක වර්ධන වේගයක්‌ තිබේ නම්, රැකියා වියුක්‌තිය අඩු වී තිබේ නම් ආදායම ජනතාව අතර ගැවසෙන ප්‍රමාණය වැඩි වී තිබේ නම් ජනතාවට මෙවැනි නරක ආර්ථීක තත්ත්වයක්‌ හිමිවිය යුතු නැති නිසාය. එසේනම් සිදුවී ඇත්තේ කුමක්‌ද? මේ ආණ්‌ඩුව විසින් සිදුකරනු ලබන්නේ ආර්ථීක මවාපෑමකි. මෙය ආර්ථීක බුබුලකි. ආණ්‌ඩුව ඉදිරිපත් කරමින් සිටින්නේ, වැරදිසහගත ආර්ථීක දත්තය. මෙතෙක්‌ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඇති තොරතුරුවල වැරදිසහගත බව ඔප්පු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල ආයතනවලින් ලබාගත් ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකිය.

මීට ඉහතදී මහ බැංකු වාර්තාව පිළිබඳවත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත පිළිබඳවත් රටේ ජනතාව තුළ විශාල විශ්වාසයක්‌ ගොඩනැඟී තිබුණි. එහෙත් අද ආණ්‌ඩුව විසින්ම එම විශ්වාසය සුනුවිසුනු කර දමා තිබේ. අපේ රටේ ආර්ථීකයේ වැදගත් පිළිබිඹුවන් වන්නේ, ආර්ථීක වර්ධන වේගය සහ උද්ධමනයයි. අනෙකුත් ආර්ථීක දත්තයන් නිර්මාණය වන්නේද මෙම දත්ත දෙක මත පිහිටමින්ය. නමුත් දැන් අපට ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කිරීමට සිදුවී ඇත්තේ ආර්ථීක වර්ධන වේගය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති දත්ත සත්‍ය ඒවාද යන්නය. 2013 ජූනි මාසයේ 23 වැනි ඉරිදා පුවත්පතක ප්‍රවෘත්තියක්‌ මෙසේ පළවී තිබුණි. 2013 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ සමස්‌ත දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 6% ක්‌ ලෙස ආණ්‌ඩුව ප්‍රකාශයට පත්කළත් එහි නියම අගය 5.5 ක්‌ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය' යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන් විය. එසේ වුවත් අමාත්‍යවරයාට පත්තරවල ලියෑවෙන දේවල් සත්‍යයෙන් තොර බව කිව හැකිය. මේ නිසා රජයේම දත්ත ඇසුරෙන්, මේ කාරණය සනාථ කළ හැකිය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් මෙම ආර්ථීක වර්ධන වේගය ගණනය කරනු ලබන්නේ ජාතික ගිණුම් අංශය යෙදාගෙනය. එමගින් 2013 පළමු කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්‌තමේන්තුව පිළිබඳ මාධ්‍ය සටහනක්‌ ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ ආර්ථීකය මනිනු ලබන දළ දේශීය නිෂ්පාදිතයේ ස්‌ථාවර මිල යටතේ 2012 පළමුවෙනි කාර්තුවේ පැවැති රුපියල් මිලියන 750,760 සිට 2013 පළමුවැනි කාර්තුවේ රුපියල් මිලියන 791,931 ක්‌ දක්‌වා ඉහළ යමින් 5.5% ක වර්ධනයක්‌ පෙන්වීය' යනුවෙන් එහි සඳහන් වී තිබේ. නමුත් ආණ්‌ඩුව ප්‍රකාශ කරනු ලබන්නේ ආර්ථීක වර්ධන වේගය 6% ක්‌ වශයෙනි. එය සිදුවූයේ කෙසේද? මේ වන විට ඇත්ත මාධ්‍ය සටහනක්‌ සහ ආණ්‌ඩුව විසින් ව්‍යාජ ලෙස සකසන ලද මාධ්‍ය සටහනක්‌ තිබේ. ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂවරයාට එම ගිණුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරිය වන ඩබ්ලිව්. ජී. නිගමුණි මහත්මිය විසින් ලියා යවන ලද සටහනකට අධ්‍යක්‌ෂවරයා විසින් පැහැදිලි කිරීමක්‌ යවා තිබේ. (උපුටා ගැනීම)  2013 පළමුවන කාර්තුව සඳහා ඇස්‌තමේන්තු කළ ජාතික ගිණුම් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 5.5 ක්‌ බව මෙම අංශයේ ප්‍රධාන නිලධාරීන්ගේ එකඟතාවයයි. මුලින් 5.4 ක්‌ව තිබියදී අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ උපදෙස්‌ අනුව 0.1කින් වෙනස්‌ කිරීමට සිදුවිය. ඔබ විසින් සඳහන් කොට ඇති මාධ්‍ය සටහනේ හා දත්ත වගුවල නැවතත් වෙනස්‌ කිරීමක්‌ කර තිබේ. එය 06% දක්‌වා වැඩි කොට ඇත. කරුණාකර පැහැදිලි කරන්න. (උපුටා ගැනීම අවසන්)

මෙයින් පෙන්නුම් කරන්නේ, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ ජනතාවට ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරමින් සිටින බවය. ආණ්‌ඩුව මේවා සිදුකරනු ලබන්නේ ඉහළ අතළොස්‌සක්‌ නිලධාරීන් කණ්‌ඩායම් යොදාගෙනය. ආණ්‌ඩුවට ණය ගැනීම සඳහා රට තුළ යහපත් ආර්ථීක වර්ධන වේගයක්‌ පෙන්විය යුතුව තිබේ. ණය ගැනීම සඳහා උද්ධමන අනුපාතිකය තනි ඉලක්‌කමේ තබාගත යුතුව ඇත. ආර්ථීක වර්ධන වේගය බොරු මැවීමක්‌ පෙන්වීමකින් තොරව හෝ උද්ධමනය තනි ඉලක්‌කමේ තබා ගන්නවා යෑයි පෙන්නුම් කිරීමට අසමත්වීමෙන් ආණ්‌ඩුවට ණය ලබාගැනීමට නොහැකිය. වරෙක නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියේ මූල්‍ය ආයතන ආණ්‌ඩුවට ණය ලබාදෙන්නේ ණය ගෙවීමට හැකි නිසා බවය. එහෙත් ආණ්‌ඩුවට ණය ගෙවීමට හැකි බව පෙන්නුම් කරනු ලබන්නේ වැරදි කරුණු ඉදිරිපත් කිරීමෙන් බව පැහැදිලිය.

ආණ්‌ඩුවේ බලධාරීන් මෙම කරුණු වෙනස්‌ කළ ආකාරය එකින් එක ඉදිරිපත් කළ හැකිය. ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂවරයා විසින් මේ සම්බන්ධයෙන් ලබාදුන් තම කටඋත්තරයේ මෙසේ සඳහන් කර තිබේ. (උපුටා ගැනීම)  ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්‌ෂ හැටියට මගේ ප්‍රධාන වගකීම වන්නේ කාර්තුගත සහ වාර්ෂික ගිණුම් ඇස්‌තමේන්තුගත කිරීම සඳහා විවිධ ආයතනවලින් තොරතුරු හා දත්ත රැස්‌කිරීම හා ගොනු කිරීමයි. 2013 පළමු කාර්තුවට අදාළ කාර්තුගත ඇස්‌තමේන්තුව කාර්තුව අවසන් වී දින 75 ක්‌ ඉක්‌මවූ සැණින් ප්‍රකාශයට පත්කිරීම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තීරණයක්‌ මත සිදුවන්නක්‌. මෙම කාර්ය 2013.06.12 වන දින මුල් කාර්තුවට අදාළ ඇස්‌තමේන්තුවේ දළ කෙටුම්පතක්‌ අංශයේ නිලධාරීන්ගේ සහායෙන් සකස්‌ කර අධ්‍යක්‌ෂ ජනරාල් වෙත යොමු කළා. ජාතික ගිණුම් සකස්‌ කිරීමේ ක්‍රියාවලිය වනුයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 250 ක්‌ 300 කින් පමණ දත්ත හා තොරතුරු රැස්‌කොට කෘෂිකර්ම, කාර්මාන්ත හා සේවා යන ප්‍රධාන අනුබෙදුම් අනුව උප අංශ රැසක්‌ යටතේ සකස්‌ කිරීමයි. මෙම ප්‍රධාන අංශ සඳහා මාණ්‌ඩලික නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ජාතික ගිණුම් ඇස්‌තමේන්තු කොට අංශ තුළ අවස්‌ථා රැසකදී සාකච්ඡා කොට දළ ඇස්‌තමේන්තුව සාමාන්‍යයෙන් අංශ ප්‍රධානියා වෙත ඉදිරිපත් කරනු ලබයි. ඒ පිළිබඳව අදාළ අංශවල වගකීම දරන මාණ්‌ඩලික නිලධාරීන් සමග නිරතුරුව සාකච්ඡා කොට ජාතික ගිණුම් ආර්ථීක විද්‍යානුකූලව විග්‍රහ කිරීමට තුලනය වී ඇත්දැයි පරීක්‌ෂා කරනවා. එය තුලනය නොවන්නේ නම් නැවත නැවතත් අංශ, උප අංශ කාර්යයන් යන මට්‌ටමට පරීක්‌ෂා කර බලා නිරවද්‍යතාවය තහවුරු කරගන්නවා. අංශය තුළ ප්‍රධානීන්ගේ එකඟත්වය ලැබුණු වහාම අධ්‍යක්‌ෂ ජනරාල්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරනවා.

වසර 30 කට පමණ පසු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අංශය භාරව සේවය කිරීමට ලැබුණු ප්‍රථම අවස්‌ථාවයි මේ. මීට පෙර කිසිම අංශයක අංශ ප්‍රධානියෙක්‌ හැටියට කටයුතු කර නැහැ. ජාතික ගිණුම් අංශය අතිශයෙන් සංකීර්ණ දර්ශක රැසක්‌ සකස්‌ කරන ස්‌ථානයක්‌ බැවින් ඒ සඳහා ප්‍රමාණවත් අත්දැකීම් ලබාගැනීමට අවම වශයෙන් වසර 08 කවත් කාලයක්‌ එක දිගට සේවය කළ යුතු බවට ජාත්‍යන්තර වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා. විද්‍යාත්මක ජාතික ගිණුම්කරුවෙක්‌ වන්නේ එවිටයි. ආර්ථීක විද්‍යා විෂය පිළිබඳව අවබෝධයක්‌ තිබුණත් ජාතික ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික නිපුණත්වයක්‌ ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක්‌ මට ලැබුණේ නැහැ. මට මේ අංශයට පැමිණ රාජකාරී කටයුතු කර ගැනීමට හැකිවූයේ මාස 06ක්‌ පමණ කාලයකුයි.

මූලික විමර්ශන නිලධාරීන් විසින් පෙන්වන ලද ජාතික ගිණුමේ සාරාංශ ලේඛනය එදා ඉදිරිපත් කළ ලේඛනය ලෙස පිළිගන්නවා. එහි ආර්ථීක වර්ධන වේගය 5.4 ක්‌ ලෙස සඳහන්වී තිබෙනවා. මෙම ඇස්‌තමේන්තුව අධ්‍යක්‌ෂ ජනරාල්ගේ පෞද්ගලික විද්යුත් තැපෑලට යොමුකළා. ඉන් පසු අධ්‍යක්‌ෂ ජනරාල් 2013.06.12 වන දින රාත්‍රී 8.30 ට පමණ මාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ගෙන සුවදුක්‌ විමසා, එවන ලද පළමු කාර්තුවේ ජාතික ගිණුම් ඇස්‌තමේන්තුව පරීක්‌ෂා කළ බවත් එහි කෘෂිකර්ම, බැංකු දේශීය වෙළෙඳාම, විදුලිය ආහාරපාන හා දුම්කොළ යන අංශයන් නැවත පරීක්‌ෂා කර බලන ලෙසත් මහ බැංකුව මුදල් අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති පුරෝකථන දත්ත ගැනත් සැලකිලිමත් වන ලෙස කිව්වා. (උපුටා ගැනීම අවසන්)

කුමක්‌ද සිදුකර ඇත්තේ. 5.4% වූ ගණනය කරන ලද ආර්ථීක වර්ධන වේගය දුරකථනයෙන් කතා කර 5.5% ක්‌ කර ඇත. එය 5.5% ට සකස්‌ කළ පසු නියෝජ්‍ය අධ්‍යක්‌ෂ එය 06% බවට පත් කර තිබේ. ආණ්‌ඩුව විශාල පුරාඡේරුවකින් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දත්ත සත්‍යයද? මේ රටේ ආර්ථීක වර්ධන වේගය පෙන්නුම් කරමින් තිබෙන්නේ වැරදි දත්ත පෙන්වමිනි. අධ්‍යක්‌ෂවරයා කටඋත්තරයක්‌ ලබාදෙමින් කියා ඇත්තේ තමන්ට සංඛ්‍යා දත්ත වෙනස්‌ කිරීමට බලකළ බවය. අධ්‍යක්‌ෂවරයා තවදුරටත් කටඋත්තරය ලබා දෙමින් කියා තිබෙන්නේ මෙසේය.

(උපුටා ගැනීම) - 2013.06.13 වන දින කෘෂිකර්ම, කර්මාන්ත හා සේවාවල වගකීම් දරන නිලධාරීන් සමග නැවත සාකච්ඡා කර ප්‍රමාණවත් ලෙස තොරතුරු සාකච්ඡා නොවූ බැවින් සංඛ්‍යාලේඛන සහකාර, සංඛ්‍යාලේඛන නිලධාරීන්, සංඛ්‍යාලේඛනඥ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ, නියෝජ්‍ය අධ්‍යක්‌ෂ යන නිලධාරීන් සමග කාර්තුගත ජාතික ගිණුමේ සාරාංශය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් අනතුරුව අදාළ අංශ ප්‍රධානීන් නැවත පරීක්‌ෂා කිරීමෙන් පසුව ජාතික ගිණුමේ වෘද්ධිය 0.1% කින් වෙනසක්‌ වන බවත් ඒ අනුව වෘද්ධිය අනුපාතය 5.5%කට සියලු දෙනාගේ එකඟත්වය ලැබූ බැවින් එයද අධ්‍යක්‌ෂ ජනරාල් වෙත 2013.06.13 වන දින සවස 3.30ට පමණ විද්යුත් තැපෑල මගින් යොමු කළා. මූලික විමර්ශන නිලධාරීන් විසින් පෙන්වන ලද ලේඛනය 2013.06.13 වන දින සකස්‌ කරන ලද ජාතික ගිණුම බව පිළිගන්නවා.

2013.06.14 වන දින 2013 පළමු කාර්තුවේ ජාතික ගිණුමේ මාධ්‍ය සටහන සකස්‌ කොට ඉදිරි කටයුතු සඳහා අධ්‍යක්‌ෂ ජනරාල් වෙත විද්යුත් තැපෑල මගින් ප.ව. 4.53 ට යෑව්වා. සති අන්තයේ නිවාඩු බැවින් මාගේ නුවර නිවසට ගියා. 2013.06.17 දින මම අසනීප වී කාර්යාලයට පැමිණියේ නැහැ. ඒ බව නියෝජ්‍ය අධ්‍යක්‌ෂ නිගමුනි මහත්මියට දුරකතනයෙන් කතා කොට නිවාඩු දමන ලෙස උපදෙස්‌ දුන්නා. ඊට පැය භාගයකට පසු නිගමුනි මහත්මිය නැවත මට කතා කර ජාතික ගිණුමේ වෘද්ධිය 6.0% ට සකස්‌ කර එවන ලෙස අධ්‍යක්‌ෂ ජනරාල් උපදෙස්‌ දුන් බව කියා සිටියා. (උපුටා ගැනීම අවසන්)

අධ්‍යක්‌ෂවරයා පැහැදිලිව සඳහන් කර ඇත්තේ තමන් එකඟ වී සකස්‌ කළේ 5.4ට බවත් සමාලෝචනයකින් අනතුරුව 0.1ක්‌ වැඩිකරමින් 5.5 දක්‌වා වැඩි කළ බවත් දුරකථනයෙන් කතා කොට ආර්ථීක වර්ධන වේගය 06 බවට පත්කරන ලෙසත් බලපෑම් කෙරුණු බවත්ය. ආණ්‌ඩුව මේ රටේ ආර්ථීකයට සිදුකර ඇත්තේ කුමක්‌ද? මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතුව තිබේ. රාත්‍රී 10ට 12ට දුරකථනයෙන් කතා කොට දත්ත සකස්‌ කර ඇති බව තහවුරු වී තිබේ. මේ ව්‍යාජය නතර කළ යුතුව ඇත. ආර්ථීක වර්ධන වේගය, උද්ධමන අනුපාතය වැනි සියල්ලම විසින් අපේ රටේ ආර්ථීක වර්ධන වේගය පෙන්නුම් කරන බැවින් මෙය ඉතා බරපතළ තත්ත්වයකි.

දැන් ආණ්‌ඩුව බොරු මාලිගාවක්‌ ගොඩනඟමින් තිබේ. මෙය කඩා වැටෙන්නේ මේ රටේ ජනතාවත් සමගිනි. මෙය මුළාවක්‌ බවට පත්වී තිබේ. මෙය රටේ ආර්ථීකයේ අතිශය නරක තත්ත්වයක්‌ බවට පත්වී තිබේ. තවදුරටත් අධ්‍යක්‌ෂවරයාගේ සාක්‌ෂිය උපුටා දක්‌වන්නේ නම් -

(උපුටා ගැනීම) ඒ වෙලාවේ මම පසු දින කාර්යාලයට පැමිණ දී ඇති උපදෙස්‌ අනුව කටයුතු කිරීමට හැකි බව පැවසුවා. ඒ වෙලාවේ නිගමුනි මහත්මිය අධ්‍යක්‌ෂ ජනරාල් මෙය නැවත වහාම සකස්‌ කර දෙන ලෙස කියා සිටි බවත් දැන්වුවා. පස්‌සේ මම ස්‌කයිප් මගින් කාර්යාල නිලධාරීන් සමග සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වී එම ජාතික ගිණුම් සකස්‌ කළේ සියලු දෙනාගේ පොදු එකඟතාවකින් බවත් එය වෙනස්‌ කරනවා නම් මූලික දත්ත මූලාශ්‍රවලට ගොස්‌ පරීක්‌ෂා කර බලා කිරීම සුදුසු බවට යෝජනා කළා." (උපුටා ගැනීම අවසන්)

අධ්‍යක්‌ෂවරයා යෝජනා කර ඇත්තේ මෙහි මූලික දත්ත දෙස බලා නැවත සකස්‌ කළ යුතු බවය. එම නිලධාරියාගේ ජීවිතයට හෝ රැකියාවට හෝ අනතුරක්‌ සිදුනොවිය යුතු බව වගකීමෙන් කියා සිටිය යුතුයි. දැන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටින්නේ මෙසේ සකස්‌ කළ බොරු සංඛ්‍යා දත්ත පිළිගන්නා ලෙසද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය හිඟාකෑම සඳහා ඉදිරිපත් කරන දත්තවලට වඩා වෙන යමක්‌ මේ තුළ නැත. එබැවින් කළ යුතුව තිබෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මූලික විමර්ශන ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමයි. මේ සඳහා ඉන්දියාවෙන් ආදර්ශ ගත හැක. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය ගැඹුරින් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට අපක්‌ෂපාතී පිළිගත් විනිසුරු මහතෙකුගේ හෝ මහත්මියකගේ ප්‍රධානත්වයෙන් සංඛ්‍යා ලේඛන කොමිසමක්‌ පත් කොට එමගින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. ඒ මගින් පවතින තත්ත්වය නිවැරදි කළ යුතුයි. ඉලක්‌කම් හරහා මවන ආර්ථීක ප්‍රබන්ධය තුළ ඇත්තේ හිස්‌ කුහරයකි.

එනිසා දැන්වත් මෙය නිවැරදි කිරීම ආරම්භ කළ යුතුය. මේ රට ගෙන යා යුතුව තිබෙන්නේ ඇත්ත දත්ත මතය. ආණ්‌ඩුව දැන් රට පාලනය කරනු ලබන්නේ බොරු මාධ්‍ය සංදර්ශන මගිනි. සියලු දේ අසත්‍යය මත ගොඩනඟන ආණ්‌ඩුව, ආර්ථීකයටත් මේ විනාශය සිදුකරනු ඇතැයි කිසිවෙක්‌ සිතුවේ නැත. මේ ආණ්‌ඩුවේ සිටින්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරවන හොරු රැළක්‌ බවද රටේ ජනතාව කිසි දිනෙක සිතුවේ නැත. මේ වන විට රටේ තිබෙන සියලු නීති පද්ධති, හර පද්ධති සහ සියලු ආයතනවල වගකීම් සියල්ල සුනුවිසුනු කර දමා ඇත. තනි නිලධාරියෙකුට අවශ්‍ය වන විට ආර්ථීක වර්ධන වේගය 06% හෝ 07% බවට වෙනස්‌ කෙරේ. මේ ආකාරයෙන් රටේ ජනතාව ඇන්දවීමට ආණ්‌ඩුව උත්සාහ දරනවාද? බොරු ආර්ථීක දත්ත පෙන්වමින් මවන ආර්ථීක විද්‍යාව නිසා ඇතිවී තිබෙන භයානක තත්ත්වය සැඟවීමට ආණ්‌ඩුවට ඉඩ දිය යුතු නැත. ආණ්‌ඩුව කුමක්‌ පැවසුවත් රටේ ඇත්ත ආර්ථීක වර්ධනය ජනතාවගේ එදිනෙදා ජීවිතවලින් පැහැදිලි වෙමින් තිබේ. එම නිසා ආණ්‌ඩුවේ මෙම ආර්ථීක වර්ධන මිථ්‍යාව රටට හෙළි කළ යුතුව තිබේ.

අනුර කුමාර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී


http://www.divaina.com/2013/12/29/politics02.html

0 comments :

Post a Comment