බටහිර ජාතීන්ට වුවමනා ආකාරයට ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය කියන කතාව ගැන අපි ඉකුත් සතියේ කරුණු දැක්‌වූයෙමු. මේ ආකාරයේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් කළ යුතු යෑයි කියා සිටින්නේ එජාපය පමණක් නොවේ. පසුගියදා පැවැත්වූ සම්මන්ත්‍රණයකදී උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් වැඩිදුර විමර්ශනය කළ යුතු යෑයි නිර්දේශ කර තිබූ නිශ්චිත අවස්‌ථාවන් කීපයක් සම්බන්ධයෙන් ආණ්‌ඩුව අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කළොත් එමගින් බටහිර රටවලින් එන මේ පීඩනය යම්තාක් දුරකට හෝ සමනය කර ගත හැකි බව දයාන් ජයතිලක මහතා ද කියා සිටියේය.
අභ්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් කළ යුතු යෑයි කියා සිටින පිරිස් සලකා බලා නැති කාරණා ගණනාවක් ඇත. ඉන් පළමුවැන්න වන්නේ පරීක්‍ෂණයක් කිරීමට නම් විමර්ශනයට ලක් කළ හැකි සිද්ධීන් පිළිබඳ විස්‌තර අවශ්‍ය වීමයි. යුද්ධයේ අවසන් මාස කීපයේදී කොළඹ තිබෙන සියලුම බටහිර තානාපති කාර්යාල, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, රතු කුරුස සංවිධානය වැනි සියලුම මූලාශ්‍ර වලින් එකතු කරගත් තොරතුරු සියල්ල එක් කොට "ලංකාවේ ගැටුමේදී සිදුවූ සිද්ධීන්" යන මැයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ රටේ කොංග්‍රස් මණ්‌ඩලයට වාර්තාවක් 2009 ඔක්‌තෝබර් මාසයේදී ඉදිරිපත් කරන ලදී. මෙකී වාර්තාවේ සිවිල් වැසියන්ට සිදුවූ හානි පිළිබඳ වාර්තා අතරින් සිද්ධීන් 172 ක් පිළිබඳ වගකීම රජයේ හමුදාවන්ට පවරා තිබුණු අතර සිද්ධීන් 45 ක් කොටි සංවිධානයට පවරා තිබිණි.
නමුත් මෙම ලියවිල්ලේ ඒ විස්‌තර සඳහන්ව තිබුණේ ඉතාමත්ම සැකෙවින්ය. උදාහරණයක් වශයෙන් 2009 අප්‍රේල් 23 වැනිදා හියුමන් රයිට්‌ස් වොච් ආයතනයට ලැබුණු පුවතකට අනුව වලයන්මඩම් හි සිවිල් වැසියන් රැඳී සිටි පල්ලියකට ෂෙල් වෙඩිල්ලක් වැදුනු අතර දස දෙනෙක් මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූ බව එහි සඳහන් වෙයි. නමුත් මේ සිද්ධිය වාර්තා කළ සාක්‍ෂිකරුවා කවුද? මියගිය 10 දෙනා කවුද? තුවාල වූ 30 දෙනා කවුද? මේ අවස්‌ථාවේදී කොටි සංවිධානය හා යුද හමුදාව සිටියේ කොහිද ෂෙල් වෙඩිල්ල වැදුනේ කොතනින්ද යනාදී කිසිදු විස්‌තරයක් නැත. පසුගිය වසරේ ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී මෙකී වාර්තාවේ සඳහන් සිද්ධීන් පිළිබඳ වැඩි විස්‌තර ඇමරිකානු රජය සතුව තිබෙනවා දැයි මා තානාපතිවරියගෙන් විමසා සිටි විට ලැබුණු පිළිතුර වූයේ මේවා හැරෙන්න වැඩිදුර විස්‌තර කිසිවක් නැති බවයි. ඉතින් ඒ අනුව එම වාර්තාවේ සඳහන් කිසිදු සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමටවත් නොහැක.
ඉන්පසුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් විසින් ලංකාවේ යුද්ධය පිළිබඳ වාර්තා කිරීමට විමර්ශන කමිටුවක් පත් කළ අවස්‌ථාවේදී ඔවුන් සාක්‍ෂිකරුවන් ගෙන්වා සිද්ධීන් පිළිබඳ විස්‌තර ලබාගෙන තිබුණත් එම සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාවට යෑයි කියා ඔවුන් ඒ විස්‌තර කිසිවක් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ලබාදී නැත. එම නිසා ඒ විස්‌තර අනුවද ලංකාවේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් කළ නොහැක. ඒ අතින් බලන කල උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙන් වැඩිදුර විමර්ශනය කළ යුතු යෑයි නිර්දේශ කරන ලද සිද්ධීන් පිළිබඳව සෑහෙන විස්‌තරයක් ඇත. මෙකී කොමිසම් වාර්තාවේ 4 වැනි පරිච්ඡේදයේ 106, 107, 109, 110 හා 111 යන ඡේද වල සඳහන් සිද්ධීන් පිළිබඳව වැඩි දුර විමර්ශනය කළ යුතු යෑයි එහි නිර්දේශ කර තිබිණි. මෙකී කොමිසම ඉදිරියට දෙමළ සිවිල් වැසියන් විශාල ගණනක් පැමිණ සිවිල් වැසියන්ට සිදුවූ හානි පිළිබඳ විස්‌තර බොහෝ ප්‍රමාණයක් සැපයුවද එකී ෂෙල් වෙඩි පත්තු කළේ කවුදැයි ඔවුන්ට නිශ්චිතව කීමට නොහැකි විය.
ඉහත සඳහන් සිද්ධීන් 5 වෙන්කොට ගැනුණේ එම සාක්‍ෂිකරුවන් ඔවුන් එම ප්‍රහාරය එල්ල වූයේ එක්‌කෝ යුද හමුදාවෙන්, නැති නම් නාවුක හමුදාවෙන් යෑයි නිශ්චිතව කියා තිබුණු නිසා පමණි. මේ අනුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වැඩිදුර විමර්ශනය කළ යුතු යෑයි පවසා තිබෙන මෙම සිද්ධීන් කීපය සම්බන්ධයෙන් කලින් සඳහන් කරන ලද වාර්තා දෙකට වඩා විස්‌තර ප්‍රමාණයක් ඇත. මේ සිද්ධීන් වාර්තා කරන සාක්‍ෂිකරුවන් සිටින අතර ඔවුන්ට විමර්ශනයකදී ඒ ගැන සාක්‍ෂි දිය හැක. එම සිද්ධීන් සිදුවූ ස්‌ථාන හා ඇතැම් විට දිනය හා වෙලාව පිළිබඳ විස්‌තර ද ඇත. නමුත් මේවායේ ද ප්‍රධාන දුර්වලකමක් වන්නේ මේ කියන සිද්ධීන්වලට මුල් වූ පුද්ගලයන් සොයාගත නොහැකි වීමයි. මෙකී සිද්ධීන්වලට වගකිව යුතු අය "ආමි" හෝ "නේවි" වශයෙන් පොදුවේ හඳුනාගෙන තිබුණත් අඩුම වශයෙන් ඔවුන්ගේ සටන් ඒකකය පිළිබඳව වත් විස්‌තර නැත. මෙකී සිද්ධීන්වලට නිශ්චිත වගකිව යුත්තෙක් සොයා ගැනීමට නොහැකි නිසා මේ පිළිබඳ විමර්ශනයක් කරන්නේ නම් කළ හැක්‌කේ "කමාන්ඩ් රෙස්‌පොන්සිබිලිටි" නොහොත් සේනාපති වගකීම නමැති සංකල්පය යටතේ අදාළ සිද්ධීන් සිදුවූ ප්‍රදේශයේ සිටි යුද හමුදා සහ නාවුක හමුදා අණ දෙන නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමයි.
නමුත් මෙවැනි දෙයක් කිරීමට වුවත් සාක්‍ෂිකරුවා සඳහන් කරන මේ සිද්ධිය සැබවින්ම සිදුවූවා යෑයි කියා මුලින්ම ඔප්පු කළ යුතුය. එය ද පහසු කාරණයක් නොවේ. යුද්ධයකදී සිදුවූවා යෑයි කියන සිද්ධීන් සැබැවින්ම සිදුවූ බව ඔප්පු කිරීමේ අසීරුතාව නිසා දැනට ලෝකයේ පවතින සියලුම යුද අපරාධ අධිකරණ කැකිල්ලේ උසාවි බවට පත් වී ඇත. දෙවැනි ලෝක යුද සමයෙන් පසු නූතන යුගයේ මුල් වරට යුගෝස්‌ලාවියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවූ විට ඔවුන් වැඩ ආරම්භ කළේ නොයෙක් රටවල ජාතික මට්‌ටමෙන් බලපවත්වන සාක්‍ෂි නීතිය ජාත්‍යන්තර අධිකරණයේ බලපවත්වන්නේ නැති බවත් එක් සාක්‍ෂිකරුවකුගේ විස්‌තරයක් වෙනත් කිසිදු සාක්‍ෂියක් නොමැතිව වුවත් උසාවියට පිළිගත හැකි යෑයි ප්‍රකාශයට පත් කිරීමෙනි. නොයෙක් රටවල ජාතික මට්‌ටමෙන් පවතින සාක්‍ෂි නීතිය මේ ජාත්‍යන්තර අධිකරණවලටත් බලපැවැත්වූයේ නම් ඔවුන්ට ඇසීමට එක නඩුවක් වත් ඉතිරිවන්නේ නැත.
නමුත් ලෝකයේ කිසිම රටක ආණ්‌ඩුවක් මෙකී ජාත්‍යන්තර අපරාධ අධිකරණ සාක්‍ෂි නීතියට කර ඇති විකෘතිය පිළිගන්නේ නැත. මොනම ආණ්‌ඩුවක් වත් එක් සාක්‍ෂිකරුවකුගේ වාචික ප්‍රකාශයක් මත පමණක් යම් සිද්ධියක් සිදුවූ බව තහවුරු වන බව පිළිගන්නේ නැත. එමෙන්ම මෙවැනි සිද්ධියක් සිදුවූවා යෑයි කියා ඔප්පු වූවත් එයට වගකිව යුතු නිශ්චිත පුද්ගලයන් සොයාගත නොහැකි නිසා එම සිද්ධීන් සිදුවූවා යෑයි කියන ප්‍රදේශයේ සිටි සියලුම යුද හමුදා හා නාවුක හමුදා අණදෙන නිලධාරීන්ට එරෙහිව මේ ආණ්‌ඩුව නම් නඩු පවරන්නේ නැත. බටහිර ජාතීන්ගේ මුදල් පරිත්‍යාග වලින් ලෝකයේ පිහිටුවා තිබෙන විවිධ යුද අපරාධ අධිකරණවලට නොකඩවා එල්ල වූ විවේචන නිසා ඔවුන් ක්‍රියාත්මක කරන මේ කැකිල්ලේ නීතිවලද යම් වෙනස්‌කම් මෑතක සිට සිදුවීමට පටන්ගෙන ඇත. උදාහරණයක් වශයෙන් පසුගිය මාස 18 ක කාලයක සිට යුගෝස්‌ලාවියාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සේනාපති වගකීම යන සංකල්පයේ බලපෑම වෙනස් කොට චූදිතයන් ගණනාවක්‌ම නිදොස්‌කොට නිදහස් කර ඇත. මේ මෑතක් වනතුරු යම් ප්‍රදේශයක සිටි සේනාපතිවරයා අදාළ ප්‍රදේශය තුළ සිදුවූ සියල්ලට වගකිව යුතුය යන පදනම මත ඔවුන්ට දඬුවම් පමුණුවන ලදී. නමුත් මේ කැකිල්ලේ ක්‍රියාදාමය ගැන නිරන්තරයෙන්ම එල්ල වූ විවේචන නිසා අද වන විට සේනාපති වගකීම යන සංකල්පය බලපැවැත්වීමට නම් අදාළ සේනාපතිවරයා විසින් අදාළ යුද අපරාධය කළ යුතු යෑයි තම සෙබළුන්ට අණ කර තිබෙන බව ඔප්පු විය යුතුය. කලින් පැවති භාවිතයට අනුව නම් අණදෙන නිලධාරියා නොදන්නා සිද්ධීන්වලට පවා ඔවුන්ට දඬුවම් පමුණුවන ලදී. ඒ අනුව බලන කල සේනාපති වගකීම යන සංකල්පයේ මෑතක සිට ඇතිවී තිබෙන්නේ විප්ලවීය වෙනසකි. යුගෝස්‌ලාවියානු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සිදුවී ඇති මෙම වෙනස සෙසු සියලුම ජාත්‍යන්තර අපරාධ අධිකරණවලටද බල පවත්වනු ඇත.
ඒ අනුව බලන කල උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් වැඩිදුර විමර්ශනය කළ යුතු යෑයි සඳහන් කොට ඇති සිද්ධීන් පිළිබඳ තත්ත්ය කුමක්‌ද? මෙම සිද්ධීන් සැබවින්ම සිදුවූවා යෑයි ඔප්පු කිරීමට පුළුවන්ය යන උපකල්පනය මත සිට බැලුවත් මේවාට වගකිවයුතු නිශ්චිත පුද්ගලයෙක් හඳුනාගත නොහැක. වගකිවයුත්තන් ආමි හෝ නේවි වශයෙන් පමණක් සඳහන් වේ. මේ අනුව සේනාපති වගකීම යන සංකල්පය භාවිත නොකර මේ සිද්ධීන් ගැන විමර්ශනයක් කළ නොහැක. නමුත් නවතම ජාත්‍යන්තර භාවිතය වන්නේ අදාළ සිද්ධිය සිදුකරන මෙන් නිශ්චිත අණක් නිකුත් නොවූයේ නම් සේනාපති වගකීම යන සංකල්පය ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව බැලුවොත් උගත් පාඩම් කොමිසමෙන්ද සඳහන් කොට ඇති මේ සිද්ධීන් ගැන සැබවින්ම විමර්ශනයක් කළ හැකි දැයි සැකයක් ඇති වෙයි.
ඇතැමුන් ඉල්ලා සිටින ආකාරයේ අභ්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් කරන්නේ නම් එය කුමන නීතියක් යටතේ කරනවා ද යන්න ගැන අපි මෙතෙක් සලකා බලා නැත. යුද අපරාධ විමර්ශනයක් රටක සාමාන්‍ය අපරාධ නීතිය යටතේ නම් කිසිසේත්ම කළ නොහැක. එම නිසා අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවා කිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර යුද නීතියට අනුවය.
ජාත්‍යන්තර යුද නීතිය යනු කුමක්‌ද? එජා සංවිධානයේ මහ ලේකම් බැන්කී මූන්ගේ උපදේශක කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාවේ 52 වන පිටුවේ ලංකාවට බලපාන ජාත්‍යන්තර යුද නීතිය කුමක්‌ද යන්න ගැන සටහනක් ඇත. කෙටියෙන් ඔවුන් කියන්නේ ජාත්‍යන්තර ගැටුම්වලට බලපාන ජිනීවා සම්මුතියට ලංකාව අත්සන් කොට තිබුණත් රටවල් අභ්‍යන්තරයේ සිදුවන ගැටුම්වලට බලපාන ජිනීවා සම්මුතියේ දෙවැනි පරිශිෂ්ඨයට ලංකාව අත්සන් කොට නැති බවයි. මේ නිසා ලංකාවට මූලික වශයෙන්ම බලපවත්වන්නේ චාරිත්‍රානුකූල යුද නීතිය බව ඔවුන් පෙන්වා දෙයි. මෙකී චාරිත්‍රානුකූල නීතිය සඳහා ඔවුන් මූලාශ්‍රයක් හැටියට පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින් සම්පාදනය කරන ලද නීති අටුවාවකි. මෙහිදී රතුකුරුස සංවිධානය කළේ චාරිත්‍රානුකූල යුද නීතිය පිළිබඳ පරමාදර්ශ රීතීන් 161 ක් සම්පාදනය කොට මේ රීතීන් ගැන ප්‍රතිචාර විවිධ රටවල්වලින් ලබාගෙන අටුවාවක් සම්පාදනය කිsරීමයි. මෙහිදී චාරිත්‍රානුකූල යුද නීතිය වශයෙන් සැලකෙන්නේ රතුකුරුස සංවිධානයේ පරමාදර්ශ 161 පමණක් නොව විවිධ රටවල්වලින් ඒවාට දක්‌වන ප්‍රතිචාරයන්ද, ඇතුළුව බව සැලකිය යුතුය. යුරෝපය ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් මෙම රීතීන් 161 ට ප්‍රතිචාර දක්‌වන විට ඔවුන් ගෙන ඇත්තේ බොහෝ සෙයින් එකිනෙකට සමාන ස්‌ථාවරයකි. බැන්කී මූන්ගේ අනු කමිටුව මේ චාරිත්‍රානුකූල යුද නීතිය ලංකාවට ආදේශ කරන විට රතුකුරුස සංවිධානයේ පරමාදර්ශයන් පමණක් ප්‍රයෝජනයට ගෙන බටහිර රටවලින් ඒවාට දක්‌වන ලද ප්‍රතිචාර ගැන කිසිවක් කියා නැත. මෙයින් ඇතිවී තිබෙන තත්ත්වය වන්නේ එකම නීති පොත භාවිත කොට ලංකාවට එක නීතියකුත් බටහිර රටවලට තව නීතියකුත් ආදේශ කිරීමකි.
උදාහරණයක් වශයෙන් බැන්කී මූන්ගේ වාර්තාවේ 56 වැනි පිටුවේ සිවිල් ඉලක්‌කවලට පහරදීම සම්බන්ධයෙන් මෙවැනි නීතියක් ආදේශකොට ඇත. "පහර දිය හැක්‌කේ මිලිටරි ඉලක්‌කයකට පමණි. සිවිල් ඉලක්‌කයකට පහර දීම සපුරා තහනම්ය. ඒ තහනම මොනම හේතුවකටවත් වෙනස් කළ නොහැක. යුගෝස්‌ලාවියානු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අනුව යම් ජන සමූහයක් තුළ වැඩියෙන් සිටින්නේ සිවිල් වැසියන් නම් පහර දීම තහනම්ය. සිවිල් වැසියන් අතර ත්‍රස්‌තවාදීන් සිටීමෙන් එම ජන සමූහයේ සිවිල් ස්‌වභාවය වෙනස් වන්නේ නැත" ලංකාවට මේ ආදේශ කොට තිබෙන්නේ ඉහත කී පරමාදර්ශයන් පමණි. නමුත් මේ පරමාදර්ශයන් බටහිර රටවල් පිළිගෙන නැත. ඔවුන් මේවාට විරුද්ධ වී තමාට කටයුතු කිරීමට වෙනම වෙන්කර ගෙන තිබෙන රීතීන් රතුකුරුස සංවිධානයේ පෙර කී අටුවාවේම සඳහන් වේ. ඒ අනුව බටහිර රටවල් පිළිගන්නා නීතිය මෙසේය. "යුදමය වැදගත් කමක් තිබෙන සිවිල් ඉලක්‌කයකට වුවත් පහරදීම යුද අපරාධයක් නොවේ. සතුරා පරාජය කිරීමට ඉවහල් වන ඕනෑම ඉලක්‌කයකට පහර දීමට ඇති අයිතියට ඇමරිකාව හිමිකම් කියයි. සිවිල් ස්‌ථානයක් යුදමය කටයුත්තකට භාවිත වන්නේ නම් එයට පහරදිය හැක. ඉස්‌පිරිතාලද මෙයට අයත් වෙයි. යම් ඉලක්‌කයක් සිවිල් ද මිලිටරි ද කියා සැකයක් පවතින්නේ නම් එය සිවිල් ඉලක්‌කයක් යෑයි උපකල්පනය කළ නොහැකි බව ඇමරිකාව කියයි. එවැන්නක් කළහොත් සම්පූර්ණ යුදමය වාසිය යන්නේ සතුරාටය. සිවිල් ස්‌ථානවල යුද කටයුතු නොකර සිටීමට සතුරාටද යුතුකමක් තිබෙන නිසා ඔවුන් එම වගකීමට බැඳ තැබිය යුතුය. එමනිසා සිවිල් ඉලක්‌කයක් මිලිටරි ඉලක්‌කයක් යෑයි අපට සැක නොසිතෙන ආකාරයට කටයුතු කිරීමටද සතුරාටද සිදුවෙයි."
ඇත්ත වශයෙන්ම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චාරිත්‍රානුකූල යුද නීතියේ හැටියට පිළිගන්නා රීතීන්වලට අනුව ලංකාවේ යුද්ධය දෙස බැලුවොත් එකම යුද අපරාධයක් වත් සිදුවී නැති බව පැහැදිළි වෙයි. දැන් ඔය යුද අපරාධ සිදුවූවා යෑයි කියා හඬනගන්නේ බටහිර රටවල් පිළිගෙන නැති රතුකුරුස සංවිධානයේ පරමාදර්ශයන් පමණක් ලංකාවට ආදේශ කර ඇති නිසාය. පසුගිය වසරේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පැවති හමුවකදී ඇමරිකානු හමුදාවේ යුද නීතිය පිළිබඳ විශාරදයෙක් ලංකාවට ගෙන්වා ජාත්‍යන්තර යුද නීතිය යනු කුමක්‌දැයි අපට උගන්වන මෙන් මම තානාපතිවරියගෙන් ඉල්ලා සිටියෙමි. ඔවුන් මෙම ඉල්ලීම සටහන් කර ගත්තද කිසිදාක ජාත්‍යන්තර යුද නීතිය ගැන කතා කිරීමට ඇමරිකානු හමුදාවේ විශේෂඥයෙක් නම් ලංකාවට ගෙන්වන්නේ නැත. එවැනි අයෙක් මෙහාට ගෙන්වුවහොත් ඔහු යුද නීතිය ගැන කියන හැම වාක්‍යයකින්ම ලංකාවේ නිදොස් බව ඔප්පු වන නිසාය.
සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2014/02/24/feature01.html
10:35 PM
slnews
0 comments :
Post a Comment