Tuesday, February 25, 2014

එක්‌සත් ජාතික පක්‌ෂයේ පළාත් සභා අපේක්‌ෂක රොයිස්‌ ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පොලිස්‌ මාධ්‍යය ප්‍රකාශකවරයා රජයට දේශපාලන වාසි ගෙන දීමට ඉතා නිර්ලඡ්ජිත ලෙස කටයුතු කරන බවත් එලෙස සාධාරණ අපක්‌ෂපාතීත්වයෙන් කටයුතු නොකරන හෙතෙම එම තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එක්‌සත් ජාතික පක්‌ෂය කියා සිටී.

අදාළ සිද්ධිය සම්බන්ධව විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් එජාපය මේ බව කියා සිටින අතර එමගින් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. 

දැනට අත්අඩංගුවේ පසුවන රොයිස්‌ ප්‍රනාන්දු මහතාට එක්‌සත් ජාතික පක්‌ෂය විසින් බස්‌නාහිර පළාත් සභාවට තරග වැදීම සඳහා අපේක්‌ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සහ මහජන නියෝජිතයන් නීති විරෝධි අන්දමින් කටයුතු කිරීම පිළිබඳව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා තදබල විවේචනයක්‌ එල්ල කොට තිබිණි.

අප පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ, අපක්‌ෂපාති සහ පිළිගත හැකි පරීක්‌ෂණයක්‌ සිදුකළ යුතු බවත් මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ යුතු බවත්ය.

එසේ වුවත් දැන් අපට පෙනී යන කාරණය වන්නේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිද්ධිය තුළින් රජයට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට දේශපාලන වාසි ලබාදීමට උත්සාහ දරන බවකි. මෙය පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුර පාලක පක්‌ෂයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාම නිර්ලඡ්ජිත ලෙස පාවිච්චි කෙරුණු අවස්‌ථාවකි.

රොයිස්‌ ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරිහැටි ආරම්භ වන්නටත් මත්තෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකළ මෙම ප්‍රකාශය සලකා බලන විට අපට පෙනී යන්නේ සාධාරණ සහ අපක්‌ෂපාතී අන්දමට මෙම පරීක්‌ෂණය සිදුවේද යන කරුණ සම්බන්ධයෙන් බරපතළ සැකයක්‌ මතු වන බවයි. සාධාරණ පරීක්‌ෂණයක්‌ සිදු නොකර මේ හරහා දේශපාලන වාසී ලබා ගැනීමට රජය ගන්නා උත්සාහය පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඉහත කී ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පක්‌ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු අතර වර්තමාන තත්ත්වයන් සලකා බලන විට පෙනී යන්නේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා යනු හුදෙක්‌ දේශපාලන හොරණෑවක්‌ පමණක්‌ බවයි. තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නොව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා බව අජිත් රෝහණ මහතාට අමතක වී ඇති බව පෙනේ.

මේ නිසා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාට සිය තනතුරේ රැඳී සිටීම සඳහා කිසිදු නීතිමය හෝ සදාචාරමය අයිතියක්‌ නැති අතර සාධාරණ සහ අපක්‌ෂපාතී නිලධාරියෙකු වශයෙන් කටයුතු කිරීමට තමන්ට හැකියාවක්‌ නොමැති බවටද මෙම ක්‍රියාකලාපය හරහා ඔහු තහවුරු කොට තිබේ. මේ නිසා ඔහු වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවට අපි යෝජනා කරමු.

http://www.divaina.com/2014/02/26/news33.html

0 comments :

Post a Comment