Tuesday, February 25, 2014

ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර දෙපාර්ශ්වය විසින් සිදුකරනු ලැබුවේ යැයි චෝදනා කරන යුද අපරාධ පිළිබඳ ශ්‍රී ලංකා රජය විශ්වසනීය පරීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් යුද අපරාධ ගැන සෙවීම සඳහා අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ. පෙරේදා (24දා) ජිනීවාහි පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති පරිදි දේශීය යාන්ත්‍රණයක් මඟින් කිසිදු චෝදනාවක් සොයා බලා නොමැති නිසා සත්‍ය තහවුරු කරගැනීම වෙනුවෙන් ස්වාධීන අන්තර්ජාතික යාන්ත්‍රණයක් සැකැසිය යුතු බව පිල්ලේ මහත්මිය අවධාරණය කර ඇත.

රොයිටර් පුවත් සේවය වර්තා කර ඇති පරිදි පිල්ලේ මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ 25 වැනි මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලීමේ යෝජනාව ගෙන ඒමට නියමිතය.

පිල්ලේ මහත්මියගේ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එය හිතුවක්කාර දේශපාලනික ප්‍රකාශයක් බවයි.
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනකුගේ ඝාතනය මුතූර්හි සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය වැනි සිද්ධීන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය යම් පමණකට උත්සාහ ගනු ලැබුවත් එය තමන් පරීක්ෂණයක් සිදුකරනු ලබන බවට ලෝකයට ඒත්තු ගැන්වීම සඳහා කෙරෙන්නක් බව සඳහන් කර ඇති මානව හිමිකම් කොමසාරිස්වරිය එම කිසිදු පරීක්ෂණයක් මඟින් වරදකරුවන්ට දඬුවම් ලබාදීමක් සිදුවී නොමැති බව පෙන්වා දී තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේදී හෙළි වූ සිවිල් ජනයා මතට ෂෙල් වෙඩි එල්ලවීම වැනි කරුණු පිළිබඳ සෙවීම ප්‍රතික්ෂේප කරගත් වුවමනාවෙන්ම මඟහැර ඇතැයිද පවසා ඇති ඇය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට එරෙහිව යුද අපරාධ හෝ වෙනත් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නැති බවද ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සමහර භික්ෂුන් වහන්සේ විසින් සුළු ජනවර්ගවලට අයත් ආගමික මධ්‍යස්ථානවලට කරන හිරිහැරද මාධ්‍යවේදීන් නීතිඥයන් හා සිවිල් ක්‍රියාකාරකයන් හට සිදුවන හිරිහැර ඇගේ වාර්තාවෙන් පෙන්වා දී ඇති බව රොයිටර් වාර්තාවේ සඳහන් කර තිබේ.

http://www.mawbima.lk/34-52170-news-detail.html

0 comments :

Post a Comment