Sunday, March 23, 2014


එක්තරා ඇමැතිවරයකුගේ විදුලි බිල එක්ලක්‍ෂ විසිදාහයි. ඇමැතිට ගෙවන්න වෙන්නෙ දාහක් පමණයි. ඉතිරිවා ගෙවන්නේ මේ රටේ අහිංසක මිනිස්සු.

ඒ නිසා මේ රට ගමන් කරමින් තිබෙන දිසාව පිළිබඳ රටේ ජනතාවට සන්තෝෂ වෙන්න බැහැ. ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නෙ පසුතැවීමෙන්. ආණ්ඩුව, පළාත් සභා, ප්‍රාදේශීය සභා ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරල නැහැ. දැන් බලාගෙන යනකොට ජනතාව ඡන්දය දීල තියෙන්නෙ සල්ලාලයන්ට, ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, කප්පම්කරුවන්ට, කැලෑ පාළුවන්ට සහ මැරයන්ටයි. රැවටීමේ තරම දැන් ජනතාව තේරුම් අරගෙනයි තියෙන්නේ. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අත්තනගල්ල එල්ලක්කල පැවැති ජනහමුවකදීය.

මේ රටේ ජනතාවට හොඳ දේවල්, නරක දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. බේත් ගන්න යන්නේ හොඳම ‍ෙදාස්තර ළඟට. ළමය ටියුෂන් යවන්නේ හොඳම ගුරුවරය ළඟට. කඩේට ගිහිල්ල බඩුමුට්ටු ගන්නේ හොඳට තෝරල බේරල. ඒ අවබෝධය අපේ ජනතාවට තියෙනවා. නමුත් වටිනාම කටයුත්තක් වන ඡන්දය දීමේදී පරණ පුරුද්දට ඡන්දය දමනවා. පස්සේ පසුතැවෙනවා. ජනතාව හොඳට හිතල බලල හොඳ අරමුණකින් ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ කාලය දැන් එළැඹිලා තියෙනවා. නොවටිනා කරුණුවලට ඡන්දය පාවිච්චි කරන්න එපා. එළැඹෙන ඡන්දයේදී දේශපාලකයන් තමන්ගේ දූ දරුවො මැතිවරණයට ඉදිරිපත් කරනවා. නිළියො එන්නෙ පෝලිමේ. නිළියන්ට ඡන්දය දීමෙන් වැඩක් නැති බව ඉන්න නිළියන්ගෙන් තේරෙනවා.

රට දැවැන්ත පිරිහීමකට පත්වෙලා. දේශපාලනය මුදල් හම්බ කරන ව්‍යාපාර බවට පත්කරගෙන. රටේ නීතියක් නැහැ. ස්ත්‍රී දූෂකයෝ, කුඩුකාරයො රටේ හැමතැනකම. ඩී.අයි.ජී.ලා මිනී මරනවා. අල්ලස් ගන්නවා. ඕ.අයි.සී. මහත්වරු කුඩු බෙදාහරිනවා. අල්ලස් කොමිසමේ ලොක්කා අල්ලස් ගන්නවා. රටේ ආශ්චර්ය මේකද? මේ රටේ සමස්ත හර පද්ධතියම විනාශ වෙලා.



http://www.mawbima.lk/

0 comments :

Post a Comment