Sunday, March 23, 2014



මල්වතු-අස්ගිරි මහා නාහිමිවරු මහින්ද-ජී.එල්. කැඳවති

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂිත යෝජනා පිළිබඳ මහා සංඝරත්නය නිසියාකාරව දැනුම්වත් කිරීමට ජිනීවා කටයුතුවලට නිරන්තරයෙන් සම්බන්ධවන විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් සහ වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන්නැයි මල්වතු-අස්ගිරි මහා නාහිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරති. මල්වතු මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සහ අස්ගිරි මහ නාහිමි අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිවරුන් වහන්සේගේ අස්සනින් ජනාධිපති වෙත යවන ලිපියෙන් ඉල්ලා තිබෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රැස්වීම් ශාලාවේදී එම සාකච්ඡාව මාර්තු 24 වැනි දින පස්වරු 4ට හෝ 26 වැනි දින පෙරවරු 9ට හෝ එම ඇමැතිවරුන් සමඟ පැවැත්වීමට අවස්ථාව සලසාදීම පිණිස විශේෂ අවධානය යොමුකරන ලෙසයි.

මහ නාහිමිවරුන් වහන්සේගේ ඉල්ලීමට අනුව ජී.එල්. පීරිස් හා මහින්ද සමරසිංහ ඇමැතිවරුන් අද (24දා) මහනුවරට පැමිණීමට නියමිත බව මහනුවර දිසා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.

මහා සංඝරත්නය දැනුම්වත් කිරීමේ වැඩසටහන අද පස්වරු 4ට ශ්‍රී දළදා මාලිගා රන් ආයුධ මණ්ඩපයේදී මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් වහන්සේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ධම්මානන්ද හිමියෝ 'මව්බිම'ට පැවැසූහ.
මල්වතු-අස්ගිරි මහ නාහිමියන් වහන්සේ ජනාධිපතිවරයා වෙත මාර්තු 21 දාතමින් යැවූ ලිපිය මෙසේය.
අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ 'ජිනීවා මානව හිමිකම් සමුළුවේදී' ඉදිරිපත් කිරීමට අපේක්ෂිත යෝජනා පිළිබඳ දැනුම්වත් වීම.
ශ්‍රී ලංකාද්වීපය වනාහි බුදුදහමෙන් පෝෂණය ලැබූ බෞද්ධ සාරධර්මයන්ගෙන් හා මානව ධර්මයන්ගෙන් හැදුණු වැඩුණු ජනතාවක් වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. අප රටේ දීර්ඝ ඉතිහාසයක් පුරා විවිධ ජාතීන් හා ආගමිකයන් එක්ව නොගැටී, නොබෙදී වාසය කළ අතර, ඔවුන් අතර සමඟිය සමාදානය මැනවින් පැවතිණි. එහෙත් දෙස්-විදෙස් බලලෝභී පිරිසක් විසින් අප රටේ අසමඟියත්, අසමාදානයත් වැපිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුරිරු විනාශකාරී යුද්ධයකට රටේ සියලුම ජනතාවට එකසේ මුහුණදීමට සිදුවිය. තිස්වසරක් පුරා පැවැති ඒ බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යසනය මඟහරවා රටේ යළි සමඟිය සමාදානය මෙන්ම සංවර්ධනය එකසේ ඇතිවෙමින් පවත්නා අවස්ථාවක, ඇතැම් බටහිර බලවතුන් හා මෙරට බලලෝභී ඇතැම් පිරිස් විසින් යළිත් වරක් අප රට ප්‍රපාතයකට ඇද දැමීමට කටයුතු කරමින් සිටිනු දක්නට ලැබීම බලවත් කනගාටුවට කරුණකි.

මෙහි එක් පියවරක් වශයෙන් 'ජනීවා මානව හිමිකම් සමුළුව' වෙත ශ්‍රී ලංකා විරෝධී යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම අප රට යළි පරිහානිය වෙත ඇද දැමීමට යත්න දැරීමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙසේ ජිනීවා සමුළුව වෙත යළිත් වරක් සිරිලක ශාසනික, ජාතික, ආගමික, සමාජයීය හා සංස්කෘතික සංහිඳියාව මහත් ප්‍රපාතයකට ඇද දැමීමට යත්න දැරීම මහාසංඝරත්නය ලෙස අපට සතුටු විය නොහැකි තත්ත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි,
ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් මතුවන ගැටලුසහගත අවස්ථාවන්වලදී ඒවා සමනය කර ගැනීමට අවශ්‍ය අනුශාසනා හා මාර්ගෝපදේශනය ලබාදීමේ ඓතිහාසික උරුමය පැවරී පැවැතියේ මල්වතු-අස්ගිරි උභය මහාවිහාරයේ මහා සංඝරත්නය වෙතය. මේ ඓතිහාසික උරුමය අනුව දැනට විවිධ ජනමාධ්‍ය ඔස්සේ මේ ගැටලු සම්බන්ධයෙන් මතුවන පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් නිසි අවබෝධය ලබා මල්වතු-අස්ගිරි උභය මහා විහාරයන්හි විංශද්වර්ගික කාරක සංඝ සභාවෙහි මහා සංඝරත්නය දැනුම්වත් කොට, එමඟින් අප රටේ බෞද්ධ ජනතාවට මේ ගැටලුවල යථා තත්ත්වය අවබෝධ කරදී, අප රටේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීමට මහා සංඝරත්නයට එමඟින් අවස්ථාව සැලෙසනු ඇතැයි විශ්වාස කරමු.

මේ සඳහා ජිනීවා සමුළුවේ කටයුතුවලට නිරන්තරයෙන් සම්බන්ධ වන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා සමඟ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රැස්වීම් ශාලාවේදී මාර්තු මස 24 වැනි දින පස්වරු 4ට හෝ 26 වැනි දින පෙරවරු 9ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව සලසාදීම පිණිස ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට, ඒ සඳහා අවශ්‍ය පියවර සලසා දෙන ලෙස කරුණාධ්‍යාශයෙන් ඉල්ලා සිටුම්හ. තෙරුවන් සරණයි.

http://www.mawbima.lk/

0 comments :

Post a Comment