Sunday, March 9, 2014


අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබදව ප්‍රකාශ කිරීමට ඇමරිකාව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය නැත – මන්නාරම රදගුරු (ලන්කාවින් වෙබ් අඩවිය)
“ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාව, දෙමළ ජනතාවට හොඳ විසඳුමක් ගෙනදෙනු ඇතැයි විශ්වාසයෙන් සිටියද එය දැන් කලකිරීමක් ඇති කර ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස ප්‍රකාශ කිරීමට ඇමරිකාව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන යෝජනාව විශ්වාසනීය විය යුතුය” යනුවෙන් මන්නාරම රදගුරු රායප්පු ජෝශෆ් පියතුමා ප්‍රකාශ කර ඇත.
“ශ්‍රී ලංකාවේ සිදුකල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව නවනීදම් පිල්ලෙයිගේ වාර්තාවෙන් යෝජනා කල අයුරින්ම, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවෙනුත් එය අවධාරණය කරනු ඇතැයි ලොව විශ්වාසයෙන් සිටියදී, හදිසියේම ඇමරිකාවේ යෝජනාව දුර්වල වී තිබීම හේතුවෙන් දෙමළ ජනතාව කම්පනයට පත්ව ඇත.
එනමුත්, යුද අපරාධ සහ අනෙකුත් කරුණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව නවනීදම් පිල්ලෙයි ඉදිරිපත් කල වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇත. ඇමරිකාව ඉදිරිපත් කල යෝජනා කෙටුම්පතින් එවන් කිසිවක් යෝජනා කර නැත.
එබැවින් මෙය දෙමළ ජනතාවට විශාල කලකිරීමක් ඇති කරන කරුණක් බවට පත්වී ඇත. එයට හේතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කුමන අන්දමින් කටයුතු කර තම බලතල තුලින් සත්‍ය අනාවරණය කරගනීවිද යන්න සම්බන්ධයෙන් සැකයන් මතුවිය හැකිය.
ඔබලා විසින්ම ඔබලා පිළිබඳ පරීක්‍ෂණ පවත්වන්න යනුවෙන් නිදහස දුන්නොත් ඔවුන් කල වැරදි සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා සත්‍ය සොයා නොගන්නා අතර යුක්තියද ඉටු නොවනු ඇත. මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ පරීක්‍ෂණ සිදුවූයේ ඒ අන්දමින්ය. තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් තමන්ම  පරීක‍්‍ෂණ පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව තුල කිසිඳු යුද අපරාධයක් සිදුවූයේ නැති බවත්, මානව හිමිකම් උල්ලංඝන සිදුවූයේ නැති බවත් ප්‍රකාශ කර තමන්ව ආරක්‍ෂා කරගනු ඇත.
මෙවැනි තීන්දුවක් ලබා දීමට ඇමරිකාව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට අවශ්‍ය නැත. එබැවින් මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීම තුලින් ශ්‍රි ලංකාව තුල සංහිඳියාව ඇති කල හැකිය. ඒ හේතුවෙන්ම විදෙස් සංවිධාන හෝ විදෙස් රටවල අධීක්‍ෂණය තිබිය යුතු බව දෙමළ ජනතාව බලාපොරොත්තු වේ” යනුවෙන්  ඔහු ප්‍රකාශ කර ඇත.

0 comments :

Post a Comment