Sunday, March 9, 2014

ඇමරිකාව, වෙනිසියුලාව අස්ථාවර කිරීමට යොදාගත් වැඩපිළිවෙල මේ වසර තුළ ශ්‍රී ලංකාවටත්
ඇමරිකා එකසත් ජනපදය එදා වෙනිසියුලාව අස්ථාවර කිරීමට ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙල මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම සදහාද ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළිකරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2014 ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ජනසෙවණ ස්වශක්ති කාන්තා සවිය වැඩසටහන් මලාවේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.
මෙම උත්සවය කොළඹ ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර පළමු අදියර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා “  මෙවර පළාත් සභා ඡන්දයට ඇමෙරිකානු තනාපති කාර්යාලයෙන් ඔත්තුසේවාවලට පාවිච්චි කරන බොහෝම දියුණු කැමරා උපකරණ පද්ධතියක් සහ නව උපකරණ පද්ධතියක් ඇමෙරිකානු තනාපති කාර්යාලය විසින් ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තමුන්නාන්සේලා දන්නවා මේ වගේ ඇමෙරිකාවට හිසරදයක් වුණු රටක් වෙනිසියුලාව. එහි මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පෙළපාලියක් එනකොට ඇමෙරිකාව සල්ලි දීපු තමන්ගේ නිලධාරීන් ඇතුළට දාලා හමුදාවටත් වෙඩි තියෙනවා. පෙළපාලියේ ආපු අයටත් වෙඩි තියෙනවා. දැන් පෙළපාලියේ ආපු අය හිතනවා හමුදාව වෙඩි තිබ්බා කියලා. හමුදාව හිතනවා  පෙළපාලියේ ආපු අය වෙඩි තිබ්බා කියලා. ආයේ දෙපැත්තතම වෙඩි තියාගත්තා. මේ අය ලංකාවේදීත් ලෑස්ති වෙන්නේ ඒ නාට්‍ය නටන්න මේ අවුරුද්ද අවසන් වන විට. ඒ අය ලෑස්ති වෙන්නේ උද්ඝෝෂණ පාරට බසින තත්වයකට පත්කරලා, ඒවායේ ඇතුළට ඒ අයගේ මිනිසුන්ව රිංගවලා, සොයාගන්න බැරි ආකාරයට ජීවිත හානි කරලා, ඒ වායේ වගකීම රජයට පවරන්න. ඒ මගින් රටම අවුල් ජාලාවක්  බවට පෙරළන එක තමයි ඒ අයගේ සැලැස්ම. අද තියෙන්නේ රට ඇතුළේ අභියෝග නෙවෙයි. රට ඇතුළේ ඉන්නවා එළියේ සතුරු බලවේගවලට උදව් කරන කණ්ඩායම්.නමුත් අද ප්‍රහාර එන්නේ එළියෙන්. සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් හදලා ඒකේ වාසියත් අරගෙන බලන්නේ කොහොම හරි මේ ජන සමාජය බෙදන්න.
එදා උඩරට අල්ලගත්තේ ප්‍රභූ පැළැන්තියයි, මහා සංඝරත්නයයි, රජුයි බෙදුන නිසා. අද අපි බෙදුනොත් මේ තර්ජන වලට අපට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් අපි එකට හිටියොත්. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදි වැඩිචුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.“ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා උතුරට අන්තර් පාලනයක් දෙන්න කියලා ජීනිවා මානව හිමිකම් සමුළුවට යෝජනා කර තිබෙනවා. සිංහල බහුතර පාලනයෙන් අපි පීඩා විදිනවා කියලා ප්‍රකාශ කරනවා.උන්වහන්සේ මේ යෝජනාව කරන්නේ නිකන් නොවෙයි. ඒක තමයි දැන් යන මෙහෙයුම. ජීනිවා මානව හිමිකම් සමුළුවෙන් කියනවා යුධ අපරාධ වෙලා කියලා. ඒ අය දිගටම මතය හදනවා උතුරේ හමුදාව ඉන්නවා, දෙමළ කාන්තාවන්ට හිරිහැර වෙනවා කියලා දෙමළ ජාතික සන්ධානය නැති දේවල් ඇති දේවල් හැටියට පෙන්වනවා. ඒ අනුව එක වේලාවක මේ රායප්පු ජෝසප් පියතුමාගේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ගෙනියනවා.  ඒතනදි  ඡන්ද විමසුමකට භාජනය කරලා, උතුරට ඒක්සත් ජාතීන්ගේ සංවිධානෙය් සමීප අධීක්ෂණය යටතේවන ස්වයං පාලනයක් පිහිටුවන්න. ඒක තමයි මේ සැලැස්ම ඒක නාට්‍යයේ අවසාන ජවනිකාව බව දැනගෙන තමයි රායප්පු ජෝසප් පියතුමා දැන්ම ඒක ඉල්ලන්නේ. උන්වහන්සේ එතනදි ඉල්ලන එක සමාජ ගතවෙලා සමාජයේ පිලිගැනීමට ලක්වෙලා, ලෝකය පුරා ඒ මතය තහවුරු කරලා එය දෙන්නේ තවත් අවුරුදු කිහිපයකින්. මෙය විශාල කාලයක් ගතවෙන සැලැස්මක් නෙවෙයි. එල්.ටී.ටී.ඊ අයුධ බලයෙන් දිනාගන්න බැරිවුණු වෙනම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ යෝජනාවකින් දිනාගන්නයි මේ යන්නේ. මේවා අපේ අභියෝග නොවේද? මේවා අපේ කාන්තාවන්ගේ අභියෝග නොවේද? මේ රට දෙමළ, සිංහල, මුස්ලිම් කියලා කෑලි 3කට කඩාගෙන ඉන්න අවශ්‍යද? එතකොට මේ රට දුබල වෙනවා. ඒ නිසා අපිට වගකීමත් තියෙනවා අද අපේ කාන්තාවන්ට සමාජයේ ඉදිරියට එන්න  බාධා නැහැ.
ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙක් සමග ජනපති ජන හමුව කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කළා සියළු මාධ්‍යයන් ඔස්සේ සජීවීව. එහිදි මුස්ලිම් අම්මා කෙනෙක් කිව්වා ගම්වල පවතින මත්ද්‍රව්‍ය භාවිතයට විරුද්ධව සටනක් ආරම්භ කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිතුමා පැහැදිළිව කිව්වා  මොන තරාතිරමේ වුණත් මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න ඉහළ මට්ටමේ අය වැඩිකල් යන්න කලින් කොටු කරනවා කියලා. ඒ වගේම මං විශ්වාස කරනවා මේ අයව තැති ගැන්වීමකට ලක්වෙන්න ඕන. ඒ අනුව දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන මරණ දණ්ඩනය නියමවෙලා තියෙන අයව මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එතකොට තමයි ඊට පිටුපස ඉන්න අය බයවෙන්නේ. දැන් තියෙන්නේ පොතෙන් මරණ දඩුවම නියමවෙලා ගතින් හිර දඩුවම් විදින ක්‍රමයක්.
ලෝකයේ ඕනෑම රටක අපරාධ, ප්‍රවණතා ජය අරගෙන තියෙන්නේ ඒ සදහා සමාජය වෙනස් කරලා, නව පරිසරයක් ඇති කරලා වගේම අනෙක් පැත්තෙන් ප්‍රබල දඩුවම් වැරදි සදහා පනවලා. බටහිර රටවල මානව හිමිකම් චෝදනාවලට බය නිසා මේ රජයට නීතියට අනුව මරණ දඩුවම දුන්නොත් බටහිර ලෝකයෙන් චෝදනා තියෙන නිසා මෙවැනි තත්වයක් මතුවෙලා තියෙනවා.
අද පුවත්පතක පළ වී තිබුණා එක්තරා ජාත්‍යන්තර ආයතනයක් ලෝක පරිමාණව යම්කිසි අධ්‍යනයක් කරලා වාර්තාවක් නිකුත් කරලා තිබුණා. නීතිය හා විදානය වැඩියෙන්ම ශක්තිමත්ව ක්‍රියාත්මක වන රටවල් මොනවාද කියලා හොයන්න. ඒ වාර්තාව අනුව දකුණු අසියාවේ අංක 1ට පත්ව තියෙන්නේ ශ්‍රී ලංකාව. හැබැයි  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කියනවා නීතිය හා විධානය බිද වැටි ඇත, නීතිය කඩා වැටී ඇත, නීතිය ක්‍රියාත්මක කරන ආයතන අකර්මන්‍ය වී ඇත, දේශපාලන අතපෙවීම් ඇතිවී ඇත කියලා, නවනීදන් පිල්ලේගේ චෝදනාවයි අර වාර්තාවයි අතර වෙනස අහසට පොළව වගේ. ඒ අන්තර් ජාතික වාර්තාවට අනුව දකුණු ආසියාවේ නීතිය හා විධානය නියමාකාරව ක්‍රියාත්මක වන රටවල් අතර ශ්‍රී ලංකාව අංක 1හි ඉන්නකොට ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වගේ රටවල් ඉන්නේ අපට වඩා පිටුපසින්.
මුහුද ගොඩකර ඉදිකෙරෙන කොළඹ නව නගරය පිළිබඳව ඇතිවී තිබෙන කතාබහ පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කලේ මෙසේය.
“මේ දවස් වල ලොකු අන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා මුහුද ගොඩ කරලා නගරයක් හදනවා කියලා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ දවස්වල නින්ද යන්නේ නැතිලු. නින්දට ගියාම කොයි වෙලෙත් රැල්ල ගහන සද්දේ ඇහෙනවාලු. එතකොට ඒතුමා බයවෙලා ඇහැරෙනවාලු.සුනාමි එනකොටවත් ඒතුමා මේ තරම් කලබල වුණේ නැහැ. මුහුද ගොඩකරන කොට උන්නැහේට මරු වැහිලා. අපේ රටට දැන් තියෙන පොළවක් නෙවෙයි නැති පොළවක් හදන්න යන්නේ. හදන්නෙත් රජයේ මුදල් වලින් නොවේ ජාත්‍යන්තර ආයතන ආයෝජන මුදල් යොදවලා. මුහුද ගොඩ කරලා ඒ නගරය හැදෙනවා. කොළඹ වරායේ ගාල් කරලා තියෙන නැව්වල සිටින විදේශකයින්ට දවස් ගණනක් නිකරුනේ ඉන්න වෙලා තියෙනවා. ඒ අයට රට අතුළට එන්න නීතියානු කූල අයිතියක් නැති නිසා ඒ අයට අළුතින් මුහුද ගොඩකරලා නගරයක් හදනවා.
ඒක අනවශ්‍යද? ඒ මිනිසුන්ගෙන් මුදලක් රටට ලැබෙන එක නරකද? එතකොට තියෙන භූමියද මේ පාවිච්චි වෙන්නේ. නැහැ අළුතින් ගොඩකරන ලද පොළව. ඒ අය හදලා එහි යම්කිසි ආදායමක් එක්තරා කාලයක් ලබයි.ඊට පසුව රටට පුර්ණ අයිතිය හිමිවෙනවා. දැන් වරායේ තියෙන ගොඩාක් ජැටි හදලා තියෙන්නේ ජපානය හෝ වෙනත් විදේශ රටවල්.ඒ හදලා අවුරුදු 20ක් විතර පාවිච්චි කරනවා. ඊට පසුව රටට අයිතිවෙනවා. පුර්ණ ආදායම ලැබෙන්නේ රටට. මේ ආකාරයට විදේශකයින්ගෙත් රටට ලැබෙන්නනේ නැති සල්ලි රටට ලැබෙන්න සලස්වනවා. මේ විදිහේ වෙනස් තීරණ අරගෙන එක පැත්තකින් දුප්පතුන්ට නව ජනාවාස හදනවා. මේ වෙන පරිවර්තනය ඉවසගන්න බැරුව වික්‍රමසිංහ මහත්තයා වගේ අය රෑ නින්දෙන් බයවෙනවා. මේකට දේශපාලන ප්‍රතිකාර නැහැ. වෛද්‍ය ප්‍රතිකාර ඇති. බටහිර වෛද්‍ය ප්‍රතිකාර නැත්නම් දේශිය වෛද්‍ය ප්‍රතිකාර ඇති. මේකෙන් පේනවා මේ වන පරිවර්ථනය ඉවසන්න බැරි කණ්ඩායමක් අද මේ රටේ ඉන්නවා කියලා.
මෙහෙ ඉන්න ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල අය යුද්ධය තියෙන කාලේ යුද්ධයෙන් රට විනාශ වී ඇත,ජීවිත හානි වී ඇත, ඒ නිසා සාමයේ අගය පෙන්වීම සදහා වැඩසටහන් පිටරටවලට යවනවා. යුද්ධය තියෙනකොට සාමයේ අගය පෙන්වනවා. දකුණේ විතරක් යුධවාදි මානසිකත්වය නැති කරලා දකුණේ විතරක් සාමවාදි මාවත ඇති කිරීම තමයි බටහිර රටවල් ඒ කාලේ යොදපු උපාය මාර්ගය.පිරිභාකරන්ගේ පැතතෙන් කිසිම සාම කතාවක් තිබුනේ නැහැ. තවලම් නැහැ, සුදු නෙළුම් මුකුත් නැහැ. මේ පැත්තේ තවලමුත් තියෙනවා, සුදු ‍නෙළුමුත් තියෙනවා. වාම සාමයත් තියෙනවා. යුද්ධත් තියෙනවා. ඒ කාලේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යවනවා වාර්තාවන් යුද්ධයෙන් මානව හිමිකම් උල්ලංඝණය වෙලා සාමය වටහා දිය යුතුව තියෙනවා කියලා. ඒක අපට කරන්න පුළුවන් ඒකට අපට ඩොලර් මේච්චර අවශ්‍යයි කියලා. ඒ මුදල් වලින් භාගයක් වියදම් කරලා බාගයක් සාක්කුවේ දාලා වාර්තාවක් හදලා ෆොටෝ ගහලා යවනවා. තව එව්වොත් තව පුළුවන් කියලා.ඒ අනුව හදන වාර්තාවේ යුද්ධයෙන් මැරුණු සංඛ්‍යාව අතිනුත් දාලා තමයි ඒ අය හදන්නේ. දැන් එහෙම බැහැ. දැන් කොළඹ අඩුපහසුකම් ජනතාව නව මහල් නිවාස වලට මාරු වුණාම දුප්පතුන්ගේ පිංතූරය විකුණගෙන කන්න ඒ අයට බැරිවෙනවා. දැන් කියන්නේ ලංකාවේ සංහිදියාව, නීතිය හා විධානය බිද වැටී ඇත. මානව අයිතිවාසිකම්  උල්ලංඝණය වී ඇත. ඒක ස්ථාපිත කිරීම සදහා සිවිල් සමාජ කණ්ඩායම් හැටියට අපට කිරීමට වැඩ ගොඩක් ඇත. ඒ සදහා මෙතරම් මුදල් ප්‍රමාණයක් උවමනා වී ඇත, අද මේ රාජ්‍ය නොවන සංවිධානවල ඉවන්න අය හදන වාර්තා තමයි ඔය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ගෙනඑන වාර්තා. පාක්‍ය සෝති මහත්තයා වගේ අය හදන වාර්තා ඒගොල්ලන්ට සල්ලි එනවා රට බිල්ලට දෙනවා. ඒ වාර්තා පදනම් කරගෙන බටහිර මේ රටවලට හතුරු මෙහෙයුම් දියත් කරනවා. යුද්ධය පැරදුනොත් රටේ ජනතාවගේ ප්‍රහාරයට ලක්වෙන්න වෙනවා. දින්නොත් ජාත්‍යන්තර ප්‍රහාරයට ලක්වෙන්න වෙනවා. යුද්ධය දිනපු නිසා එල්.ටී.ටී.ඊ ය දිගුකල් බලාගෙන හිටපු මේ රට බෙදන්න උත්සහා කරපු විදේශ බලවේගවල ප්‍රකෝපකාරී ප්‍රහාරයට ලංකාව ගොදුරු වෙනවා. අපි යුද්ධය දිනපු නිසා දැන් තියෙන්නේ ඒ ප්‍රහාරය. යුද්ධය පැරදුණානම් රටේ ජනතාවගෙන් ප්‍රහාරය එල්ලවෙනවා. 
weerawansa-kolonnawa
ඒ ප්‍රහාරයට වඩා ජාත්‍යන්තර ප්‍රහාරය හොදයි. ඒ ප්‍රහාරයට කොහොම හරි මුහුණ දියහැකියි.නමුත් තමුන්නාන්සේලාගේ ප්‍රහාරවලට මුහුණදෙන එක ලේසි වෙන්නේ නැහැ. මෙහේ කවුරුත් කියන්නේ නැහැ. මානව හිමිකම් කඩවෙනවා කියලා. දෙමළ ජාතික සන්ධානය නම් කියනවා ඒ අයට බාර දීලා තිබුණු ජොබ් එක කියලා. රායප්පු ජොසප් පියතුමා කියන්නේ මෙහේ දෙමළ ඊළම හැදුනා නම් එහි අගරදගුරුතුමා වෙන්න බලාගෙන හිටපු පියතුමා. උන්වහන්සේගේ සිහිනය බිද වැටුණාට අපි මොනවා කරන්නද? රටේ අතිමහත් බහුතරය එහෙම කියන්නේ නැහැ. අද රටේ බහුතර ජනකොටස කොළඹ නගරයේ සුළුතර ජනකොටසක් වෙලා තියෙනවා. අද කොළඹ නගරයේ ජනකොටස් සංහිදියාවෙන් ඉන්නවා.නමුත් සංහිදියාව නැහැ කියන චෝදනාවෙන් අපිට දමලා ගහනවා.

මොන වැඩේ කරන්න ගියත් ඒවාට අකුල් හෙළන පිරිසක් ලෝකයේ ඕනෑම තැනක ඉන්නවා. කොළඹ මහල් නිවාස වැඩසටහන සම්බන්ධයෙනුත් සමහරු ගෙවල් පොඩියි.ඉදිකිරීම් සුදුසු නැහැ කියලා මත හදාගෙන යනවා. එම නිසා තමුන්නාන්සේලා ඒවාට හසුවෙන්න එපා කියලා මම ප්‍රකාශ කරනවා. වත්මන් රජය කිසිලෙසකින්වත් ජනතාව ඉන්න තැනින් ඒ ජනතාවව අකමැත්තෙන් ඉවත් කරන්නේ නැහැ. තමුන්නාන්සේලා තමයි තෝර ගත යුතුවන්නේ මේ නුසුදුසු ජනාවාස වල ජීවත්වෙනවාද? එහෙමත් නැතිනම් අභිමානවත්ව ජිවත් විය හැකි පරිසරයක ජීවත්වෙනවාද කියලා. රජය කිසිලෙසකින්වත් බලහත්කාරයෙන් ජනතාව ඉවත් කරන්නේ වත්, පදිංචි කරන්නේවත් නැහැ. වනාතමුල්ල ප්‍රදේශයේ ජනතාව ව නුසුදුසු නිවාස වලින් නව මහල් නිවාස පද්ධතියකට ගෙනියන්න සුදානම් වන විට එයට දේශපාලන වශයෙන් මැදිහත් වෙලා වෛරි ආකල්පයන් ගොඩනගනවා. පළාත් සභා මැතිවරණයේ වාසි ලබාගන්න. ඒ ජනතාව අරගෙන යන්න හදනවා මේ සංවර්ධනයේ විරුද්ධ ආකල්ප ගොඩනගන තැනට. අපේ අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරල තීන්දු කළා අවම වශයෙන් වර්ග අඩි 450 ක ප්‍රමාණයකින් මේ හදන නව නිවාස සමන්විත වියයුතුයි කියලා. ඒ සදහාත් රජය  දැඩි අවධානය යොමු කරලා ඉදිරියෙදී නිවසක් ඉදිකරන විට අවම වශයෙන් වර්ග අඩි 450ක් තිබිය යුතු බව තීරණය කළා. අද තිබෙන්නේ ජනතාවගේ අදහස් වලට ඇහුම්කන් නොදෙන පාලනයක් නොවෙයි. බොරැල්ල වනාත ප්‍රදේශයේ ජනතාව කියනවා ඒ අය නිවාස වලින් යන්න අකමැතියි කියලා. ඒ අනුව රජය තීරණය කළා, ඒ අයගේ අදහස පිළි අරගෙන ඒ අයව එම ස්ථානයේම තබන්න. ඕනෑම දෙයක පරිවර්තනයක් වෙනවිට වෙනස් වීමට අකමැති බලවේගවල අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.රජයට අවශ්‍ය නැහැ පරිවර්තන ක්‍රියාවලිය කිසිම කෙනෙකුගේ අකමැත්තෙන් සිදු කරන්න. රජය මේ වැඩපිළිවෙල දියත් කරන්නේ ඉතාම සද්භාවයෙන්. එකක් රටේ අගනුවරට අභිමානය ගෙනඑන්න. ලෝකයේ බොහෝ රටවල දුප්පත්කමේ පිංතූරය  නිර්මාණය වෙලා තියෙන්නේ මේවගේ නුසුදුසු ජනාවාස හරහා. මේ නුසුදුසු ජනාවාස නොමැති අගනුවරක් බවට කොළඹ නගරය පත් කරන්නයි රජය මේ විදියට කටයුතු කරන්නේ.
සිංගප්පුරුවේ හිටපු ජනාධිපති ලී ක්වාං යු මහත්තයා නම් ගෙවල් ලබාදෙමින් හිටියේ නැහැ, නගරයේ සිටි දුප්පත් ජනතාව ගහලා පැන්නුවා. ඒතුමා වෘත්තීය සමිතිවලට මුළුනින්ම ගහලා, පැල්පත් සියල්ල ගිනිබත් කළා. ඒ අය ජීවත් වුණේ කොහොමද කියලා හොයලා බැලුවේ නැහැ. හැබැයි අද  ලී ක්වාං යු කිව්වම සිංගප්පුරු ජනතාව මල් තියලා වදිනවා. එදා එතුමාව පෙනෙන්න ඇත්තේ අන්තිම දරුණු රළු නායකයෙක් හැටියට. අපේ රටේ ලී ක්වං යූ කරපු දේවල් කරන්නේ නැහැ. වෙනසක් සිදුකරන විට යමක් අතහරින්න වෙනවා. සියයට සියයක් සම්පූර්ණව ඒය කරන්න බැහැ. නමුත් අද සිදුවන මේ වෙනස්වීම තමුන්නාස්සේලාට හිතකර වෙනසක්ද අහිතකර වෙනසක්ද කියලා හිතලා බලන්න.” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
2014 ලෝක කාන්තා දිනය සැමරීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලැබු   “ ජනසෙවණ ස්වශක්ති ” මානව සංවර්ධන වැඩසටහනට සමඟාමීව කොළඹ නාගරික අඩු පහසුකම් ජනාවාසවල කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය පසුබිම සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබුවේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසිනි.
මෙම වැඩසටහනට සමඟාමීව කාන්තා ව්‍යවසායිකාවන් 500 කට අනුග්‍රහය දැක්වීම, ආයුර්වේද සායන, ස්වයං රැකියා වෙළඳ පොළ, දේශන හා උපදේශන සේවා, මනාලියන් හැඩගැන්වීමේ තරඟ, රාජ්‍ය හා පෞද්ගලික ආයතනික වෙළඳකුටි, රාජ්‍ය බැංකු මූල්‍ය සේවා කුටි ඇතුළු විශේෂාංග රැසක් මෙදින ක්‍රියාත්මක කෙරිණ.
අඩු ආදායම්ලාභි පවුල්වල කාන්තාවන් කරගෙන යන ස්වයං රැකියා ණය අවස්ථා වැඩි දියුණු කරගැනිම සදහා ස්වයං රැකියා ණය ප්‍රදානය කිරීමද අමත්‍යවරයා අතින් මෙහිදි සිදුකෙරිණ.
මීට අමතරව ජනසෙවණ ස්වශක්ති සය සමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් සදහා ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදි සිදු කෙරිණ. 2014 ලෝක කාන්තාදිනය වෙනුවෙන් පවත්වන ලද ජනසෙවණ මනාළියන් දැක්ම තරගාවලියක්ද මෙහිදී සංවිධානය කර තිබිණ. මෙම තරගයේ විනිශ්‍ය කටයුතු ප්‍රවින රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, යොවුන් රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද්, ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු සැලසුම් අධ්‍යක්ෂිකා මංජුලා සමරවික්‍රම යන මහත්මීන් විසින් සිදුකරන ලදි. ඒ අනුව මනාලියන් දැක්ම තරගාවලියේ ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් ජයග්‍රහිකාවන් සදහා ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණ. මෙහිදී මනාලියන් හැඩගැන්වූ ශිල්පිණියන් සදහාද සහතිකපත් ප්‍රදානය කෙරිණ.

http://lankacnews.com/sinhala/news/111708/

0 comments :

Post a Comment