Tuesday, March 4, 2014


1912 අප්‍රේල් 14 ලෝක ඉතිහාසයට එක්වුණේ ඓතිහාසික ශෝක දිනයක් වශයෙන්. ඒ අඳුරු දවසේදී ජැක් ඩෝසන් වගේ සොඳුරු පෙම්වතුන් මුහුද තුළ ගිල්ලවමින්ද, රෝස් ඩෝසන් වැනි සුන්දර තරුණියන්ට තම පෙම්වතා අහිමි කරමින්ද, ටයිටැනික් නැව දැවැන්ත අයිස් කන්දක වැදිලා මුහුදුබත් වුණා කියලා කවුරු කවුරුත් දන්නවා. එහෙම අයිස් කඳුවල වැදිලා විනාශ වෙන්නේ නැව් විතරක් නෙවෙයි. පාවෙන අයිස් කඳු නිතර දෙවේලේ අපි සියලු දෙනාටම හමුවෙනවා. ඒ අයිස් කඳු අන් කිසිවක් නොව දෛනික ජීවිතයේදී ඔබ අපි මුහුණ දෙන ප්‍රශ්න සහ ගැටලු.

ටයිටැනික් නැව මෙහෙයවපු එඩ්වර්ඩ් ස්මිත් කියන කපිතාන්වරයාට අෑත මුහුදේ පුංචි අයිස් කුට්ටියක් පාවෙනවා පෙනුණා. අත්දැකීම් බහුල නාවිකයෙක් වුණ ඔහුටත් මෙම දසුන පෙනුණේ මුහුදු ජලයේ මතුපිට පාවෙන අයිස් කුට්ටියක් වශයෙන්. නමුත් ඒක සාමාන්‍ය විදියට මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් නොව දැවැන්ත අයිස් කන්දක් කියල තේරුම් ගන්න කොට ඔහු ඇතුළු නිලධාරි මණ්ඩලය සෑහෙන්න පමා වෙලා ඉවරයි. ජීවිත දහසකට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. අන්න ඒ වගේ මතුපිටින් සරලව පෙනෙන සමහර ප්‍රශ්නවලට ඉතාම සාමාන්‍ය විදියට, කිසිම පෙර සූදානමක් නැතිව මුහුණ දුන්නම නන්නත්තාර වෙනවා කියලා සරල භාෂාවෙන්ම කියන්න පුළුවන්.

අයිස් කුට්ටියක ආකෘතිය දිහා හොඳින් නිරීක්ෂණය කළ කෙනෙක්ට පැහැදිලිව පෙනෙන දෙයක් තියෙනවා. ඒ මතුපිටට නොපෙනී ජලයේ සැඟවෙලා තියෙන අයිස් කුට්ටියේ හතරෙන් එකක ප්‍රමාණය. සාමාන්‍ය ජීවිතයේ වගේම ව්‍යාපාරික ජීවිතයේදීද ඕනෑම ප්‍රශ්නයක් සහ සිදුවීමක් දිහා අයිස් කුට්ටියක පින්තූරය හිතේ මවාගෙන කල්පනා කරලා බැලුවම හොඳ හොඳ විසඳුම් මනසට එනවා. මෙම අයිස් කුට්ටියේ තියරිය කළමනාකරණ සංකල්පයක්ම නෙවෙයි. අයිස් කුට්ටියේ තියරිය ගැන බොහෝ දේවල් කතා කළේ අනර්ස්ට් හෙමින්වේ කියන සුප්‍රකට නව කතාකරුවා. ඔහු ඒ හරහා නව කතාකරුවන් සහ කෙටි කතාකරුවන් මතුපිටින් නොපෙනෙන සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කරමින් සාහිත්‍ය නිර්මාණ සිදුකළ යුතු ආකාරය දක්වනවා.

වරක් ලියනාඩෝ ඩාවින්චිද ‘නොදකින දේ දකින්න. නොඇසෙන දේ අසන්න’ කියලා පැවැසුවේද ප්‍රශ්න සහ සිදුවීම්වල නොපෙනෙන දේ දකින්න කියන කාරණයමයි. අයිස් කුට්ටියේ තියරිය සෑම තැනකම දකින්න ලැබෙනවා. ඒ වගේම සමාජයේ මතුපිටින් පෙනෙන සෑම සංකල්පයක් තුළම මෙම තියරියේ හරය දකින්න ලැබෙනවා. මෑත කාලීනව සියදිවි නසා ගැනීම් බොහෝ ප්‍රමාණයක් වාර්තා වුණත් එම සියලු සියදිවි නසා ගැනීම් සිදුවුණේ සරල ප්‍රශ්න නිසා නෙවෙයි. ඊට බලපෑව ගැඹුරු ගැටලු රැසක් තියෙනවා. නමුත් මාධ්‍ය මඟින් ඔබ දැක්කේ ප්‍රශ්නයේ මතුපිට පමණයි. ඒ කියන්නේ අයිස් කුට්ටියේ ජලයෙන් මතුපිට පාවෙන කොටස පමණයි.

පසුගිය කාලයේදී ශ්‍රී  ලංකාවේ දැවැන්ත ව්‍යාපාර කඩා වැටුණේ පුංචි පුංචි ප්‍රශ්න පුංචි පුංචි දේවල් කියලා නොසලකා හැරීම නිසා. නමුත් පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන කාරණය ඔවුන් අමතක කළා. කිසියම් ව්‍යාපාර ආයතනයක් උදාහරණයට ගන්න. අපිට ව්‍යාපාර ආයතනයක් දැක්ක ගමන් මුලින්ම පෙනෙන්නේ එම ආයතනය තුළ සේවය කරන පිරිස වැඩ කරද්දී කතාකරන විදිය, ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, එම ආයතනයේ ගොඩනැඟිලි හදලා තියෙන ආකාරය වගේ මූලික දේවල්. නමුත් එම දේවල් දිහා බලලාම පමණක් අපිට එම ආයතනය ගැන ගැඹුරු අදහසකට එන්න බැහැ. නමුත් බොහෝ දෙනෙක් සමහර ව්‍යාපාර ආයතන ගැන තීරණ ගන්නේ එම ආයතනයේ බාහිරට පෙනෙන දේවල් පමණක් සලකලා. නමුත් ආයතනය ගැන නියම තීරණ ගන්න පුළුවන් වෙන්නේ එම ව්‍යාපාරයේ වත්කම් සහ වගකීම් ශේෂ පත්‍රය ඔස්සේ විශේලේෂණය කිරීමෙන් පමණක් සෑහීමකට පත්නොවී ආයතනික සංස්කෘතියේ නෙපෙනෙන අහුමුලු අධ්‍යයනය කිරීමෙන්.

සමහර ව්‍යාපාර ආයතන නොසිතූ වෙලාවලදී කඩා වැටෙන්නේ ප්‍රශ්නයේ ගැඹුර වටහා ගන්නේ නැතිව මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්න නිසා කියලා ඔප්පු වෙලා තියෙනවා. වරක් ලෝක ප්‍රකට කොකා කෝලා සමාගම ඔවුන්ගේ නිෂ්පාදනයේ රසය ටිකක් වෙනස් කරලා නව  කොකා කෝලා කියන නමින් කොකා කෝලා වෙළෙඳපොළට නිකුත් කළා. පෙප්සි කියන තරගකාරී නිෂ්පාදනය වෙළෙඳපොළෙන් ඉවත් කරලා තව තවත් ලාභ ලබාගන්න එක තමයි ඔවුන්ගේ මූලික අරමුණ වුණේ. නමුත් ඔවුන්ගේ එම දැවැන්ත ව්‍යාපෘතිය නොසිතූ විදියට අසාර්ථක වුණා. පාරිභෝගිකයන් රසින් වැඩි නව කොකා කෝලා ප්‍රතික්ෂේප කරල පැරැණි කොකා කෝලා විතරක් ඉල්ලුවා. නමුත් එවකට කොකා කෝලා කළමනාකාරිත්වයට පාරිභෝගිකයා ඔවුන්ගේ පවතින සන්නමට සහ පවතින රසයට ඇති දැඩි බැඳියාව තේරුම් ගන්න බැරිව ගියා. එම නිසා තමයි පාරිභෝගිකයාගේ සැබෑ කැමැත්ත පිළිබඳ ගැඹුරින් විමසන්නේ නැතිව නව රසයක් සමඟ නව කොකා කෝලා හඳුන්වා දුන්නේ.

නමුත් එම තීරණය ඉතිහාසගත වැරැදි ව්‍යාපාරික තීරණයක් වුණා. කෙසේ හෝ කොකා කෝලා සමාගමට පසුකාලීනව සිදුවුණු වරද නිවැරැදි කරගන්න අවස්ථාව ලැබුණා.
ටාටා ව්‍යාපාරයේ අධිපතිවරයෙක්ව හිටිය රටාන් ටාටා ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කරන්න කියල කිව්වේ මෙන්න මේ අයිස් කුට්ටියේ තියරියට තමයි. ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කරද්දි තමයි සැබෑ තතු එළියට එන්නේ. ඒ නිසා පාවෙන අයිස් කුට්ටිය දිහා බලලා තීන්දු තීරණ ගන්නේ නැතිව ජලය යට තියෙන දැවැන්ත අයිස් කන්දේ උස සහ පළල පරීක්ෂා කරන්න පුරුදු වෙන්න.


http://www.mawbima.lk/83-52641-news-detail.html

0 comments :

Post a Comment