Tuesday, March 4, 2014

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් දැනට සිදුකරමින් පවතින විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරන්නැයි කරනු ලැබූ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් පෙරේදා (3දා) ප්‍රතික්‍ෂේප කළේය.

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළවූ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් ‍ෙදාස් පවරනු ලැබීම නිසා ඇති වූ සිත්තැවුල හේතුවෙන් දිවි නසාගත් බව කියන එම විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙලෙස ප්‍රතික්‍ෂේප කළේය.

ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක බී. ඩබ්ලිව්. බෝපිටිගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ මනෝ උපදේශිකාව ලෙස කටයුතු කළ ගුරුවරියගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවද එහිදී මියගිය දැරිය විශාදය තත්ත්වයක පසුවීම හේතුවෙන් ඇයට කලෙක සිට මානසික උපදේශනයන් ලබාදුන් බවත්, ඇයගේ වාර්තාවලට අනුව 2014 ජනවාරි මස 29 වැනිදා මියගිය දැරියගේ විශාදය තත්ත්වය උත්සන්න වී ඇති බව විදුහල්පතිවරයාට දැනුම් දුන් බවද මනෝ උපදේශිකාව විසින් පැවසූ බව පැවැසීය. නමුත් මේ දැරියගේ රෝගී තත්ත්වය පිළිබඳ කිසිම අවස්ථාවක පාසල විසින් ඇගේ මවුපියන් දැනුම්වත් කර නොමැති බවද බෝපිටිගොඩ මහතා අධිකරණය හමුවේ පැවැසීය.
මේ අවස්ථාවේදී කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් පැමිණිල්ලේ නීතිඥයන් අමතමින් මියගිය දැරියගේ මේ රෝගී තත්ත්වය පිළිබඳ ඇගේ මවුපියන් දැනුම්වත් වී නොසිටියේදැයි විමසීය. දරුවකු සාමාන්‍යයෙන් පැය 18කට වැඩි කාලයක් ගතකරන්නේ මවුපියන් සමඟ බවත්, මේ දැරිය මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඇගේ මවුපියන් සොයා බැලීමක් කර නැතිදැයි මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේය.

එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධම්මික ගමආරච්චි මහතා මියගිය දැරිය ඇගේ මවුපියන් සමඟ සතුටින් ජීවත් වී ඇති බවත්, මියයෑමට පෙර දිනයේත් ඇය සතුටින් කාලය ගතකර ඇති බවත්, දැරිය රෝගී තත්ත්වයකින් පසුවන බවක් ඇගේ මවුපියන්ට දක්නට ලැබී නොමැති බවත් පැවසීය.
මේ අවස්ථාවේදී නඩුව පසුව විභාගයට ගන්නා බව පවසමින් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව කල් තැබූ අතර දහවල් 12ට පමණ නඩුව යළි කැඳවනු ලැබීය. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ලේ නීතිඥයන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් දැනට සිදුකරමින් පවතින විමර්ශන පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, එහි නිලධාරීන් විවිධ බලපෑම්වලට යටත්ව මේ විමර්ශන සිදුකරන බව කීය. ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය පෙබරවාරි 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ 'බී' වාර්තාවෙහි විත්තිකාර විදුහල්පතිවරයා විසින් මියගිය දැරියට කෘෘරත්වයෙන් සැලකූ බවට චෝදනා කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවාද සහ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවාද යන්න පැහැදිලිව දක්වා නොතිබූ බවද කීය. එබැවින් මේ විමර්ශනයන් විත්තිකාර විදුහල්පතිවරයාට වාසි වන අයුරින් සිදුවන බවත්, ඉන් අගතියට පත් පාර්ශ්වය තවදුරටත් අගතියට පත්වන බැවිනුත් මේ සිදුවීම සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විශ්වසනීය ආයතනයක් යටතට පත්කරන ලෙසට නියෝග කරන්නැයි මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. ඩබ්ලිව්. බෝපිටිගොඩ මහතා මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පැමිණිල්ලේ නීතිඥයන් විසින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ 'බී' වාර්තාව හරිහැටි අධ්‍යයනය කිරීමෙන් තොරව කරුණු දක්වන බව පැවැසීය. ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් පසුගිය සමයේ ආන්දෝලනාත්මක පරීක්‍ෂණ ගණනාවක්ම මෙහෙයවා ඇතැයිද මේ සිදුවීම සම්බන්ධ පරීක්‍ෂණයන් විධිමත්ව සහ ස්වාධීනව පවත්වාගෙන යන බවද හෙතෙම පැවැසීය. එසේම විත්තිකාර විදුහල්පතිවරයාගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවසර දෙන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ පැමිණිල්ලේ නීතිඥයන් විසින් විත්තිකාර විදුහල්පතිවරයාට පසුගිය පෙබරවාරි 19 වැනිදා අධිකරණය විසින් ඇප නියම කිරීමෙන් පසුව පාසල් තූර්යවාදන කණ්ඩායම් පෙරටු කරගෙන මල්මාලා පලඳවා රැගෙන ගොස් පාසල් භූමියේදී උත්සවයක් පවත්වා ඇතැයිද, මේ උත්සවය සඳහා පස්වරු 3.30 දක්වා පාසල් ළමයි බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇතැයිද මෙවැනි සිදුවීම්වලින් මෙම නඩුවේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් වන පාසල් දරුවන් ඇතුළු සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වී ඇතැයිද අධිකරණය හමුවේ කීය.

විත්තිකාර විදුහල්පතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයන් කීවේ මෙම විදුහල්පතිවරයාට ඇප ලැබූ දිනට පසුදින සිට කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරුවීමක් ලැබී ඇති බැවින් ඔහු විසින් මෙම නඩුවේ කිසිදු සාක්‍ෂිකරුවකුට බලපෑම් කර නැති බවයි. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ ඉදිරි පරීක්‍ෂණ සඳහා වැඩිදුර ප්‍රකාශයක් ලබාදෙන ලෙසට විත්තිකාර විදුහල්පතිවරයාට නියෝග කරමින් නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධම්මික ගමආරච්චි, නීතිඥ බණ්ඩාර ඒකනායක, නීතිඥ ප්‍රියංකර ඩයස් සහ නීතිඥ වසන්ත ගුණවර්ධන ඇතුළු නීතිඥයන් පිරිසක්ද විත්තිකාර විදුහල්පතිවරයා වෙනුවෙන් නීතිඥ එස්. ටී. ජයනාග, නීතිඥ කීර්ති දුනුසිංහ, නීතිඥ ප්‍රිලීෂියන් පෙරේරා සහ නීතිඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් ඇතුළු නීතිඥයන් පිරිසක්ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව අප්‍රේල් මස 2 වැනිදා යළි කැඳවීමට නියමිතය.


http://www.mawbima.lk/86-52681-news-detail.html

0 comments :

Post a Comment