Thursday, March 6, 2014

ranila-wikramasinghe-11913කොළඹ, මුහුදින් අක්කර ගණනක් ගොඩ කර කොළඹ පුරවරය සංවර්ධනය කිරීම ගැන විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) නැගු වරප්‍රසාද ප්‍රශ්නය කරුණු රහිතව කළ චෝදනාවක් යැයි ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ චෝදනාවට අදත් (06) හෙතෙම පාර්ලිමේන්තුවේදී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

කොළඹ පුරවරය සංවර්ධනය කිරීමේදී මුහුද ගොඩකර චීනයට ඉඩම් ලබාදීම හා එම ක්‍රියාවලියට ලෝක බැංකුව විසින්ද තහනමට ලක් කර ඇති CCCC නැමැති සමාගමක් සම්බන්ධ කර ගැනීම පිළිබඳව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් නගන ලදී.

එම වරප්‍රසාද ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂය ද පිළිතුරු දුන් අතර එය පදනම් විරහිත චෝදනාවක් බව ඔවුන් ප්‍රකාශ කළේය.
ඒ අනූව විපක්ෂනායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් නැවත කළ පැහැදිලි කිරීමක් කළේය


‘‘ඊයේ (2014.03.05) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මා මතු කළ අවස්ථාවේදීත්, අනතුරුව පැවති මෝටර් රථවාහන රෙගුලාසි පිළිබඳ විවාදය අවස්ථාවේදීත් මා කරුණු රහිතව චෝදනා නගන බව ප‍්‍රකාශ වූ නිසා මේ ගැන පැහැදිළි කිරීමක් කළ යුතු යයි කල්පනා කළා.

කොළඹ සංවර්ධනය අරබයා 1921 සිට මේ දක්වා වාර්තා 6 ක් ඉදිරිපත්වී තිබෙනවා. එනම්

1921 පැටි‍්‍රක් ගේඞ්ස් ප්ලෑන් 
1948 පැටි‍්‍රක් ඇබර්ක්‍රොම්බි ප්ලෑන්
1978 යූඑන්ඞීපී කොලම්බු මාස්ටර් ප්ලෑන් ප්‍රොජෙක්ට් (මෙය කොලම්බු මෙට්‍රෝපොලිටන් රිජිනල් ස්ට‍්‍රක්චර් සහ කොලම්බු අර්බන් ඒරියා ප්ලෑන් වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි). 
1985 සිටි ඔෆ් කොලම්බු ඩිවෙලොප්මන්ට් ප්ලෑන් 
1998 කොලම්බු මෙට්‍රෝපොලිටන් රිජිනල් ස්ට‍්‍රක්චර් ප්ලෑන් සහ 
2004 වෙස්ටර්න් රීජන් මෙගාපොලීන් ප්ලෑන් යන වාර්තා 6 යි.


මෙයින් වැඩිපුරම තොරතුරු සපයා ඇත්තේ 1998 කොලම්බු මෙට්‍රෝපොලිටන් රිජිනල් ස්ට‍්‍රක්චර් ප්ලෑන් වාර්තාවෙනුයි. එය වෙළුම් 12 කින් සමන්විත පිටු 2200 ක වාර්තාවක්. එහි 9 වන වෙළුමෙහි කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය පිළිබඳ අධ්‍යයනයකුත්, 10 වන වෙළුමෙහි නාගරික නෛසර්ගිකයන් පිළිබඳ අධ්‍යයනයකුත් ඇතුළත් වෙනවා. මේ වාර්තාවත් පදනම් කරගෙන කොළඹ ආර්ථික දියුණුව තවදුරටත් ඉහළ නංවා ගැනීම සඳහා 2004 සෙස්මා ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවේට් ලිමිටඞ් සමාගම වෙස්ටර්න් රීජන් මෙගාපොලීන් ප්ලෑන් වාර්තාව ඉදිරිපත් කළා. එය වෙළුම් 03 කින් සමන්විත පිටු 212 ක වාර්තාවක්.

ඉහත කී වාර්තා දෙකෙන්ම සංවර්ධනයට සුදුසු විශාල ඉඩම් ප‍්‍රමාණයක් හඳුන්වා දී තිබෙනවා. දියුණුවන නාගරික කලාපයකට අවශ්‍ය විශාල ඉඩම් ප‍්‍රමාණය විවිධ ස්ථානවලින් හඳුනාගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබෙන කොළඹ වරාය පුරවරය, යෝජනාවලිය ඉදිරිපත් කළ චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට‍්‍රක්ෂන් කම්පැනි ලිමිටඞ් හෙවත් සී.සී.සී.සී වාර්තාවෙහි කොළඹ දියුණු කිරීම සඳහා මෙතරම් විස්තරාත්මක කරුණු සඳහන් වන්නේ නෑ. සෙස්මා ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවේට් ලිමිටඞ් වාර්තාවේ කොළඹ කොටුවේ දිගුවක් හැටියට වෙරළ හා යාබද මුහුද ගොඩ කර ව්‍යාපාරික මධ්‍යස්ථාන ඉදිකිරීමට ද යෝජනා කර තිබුණා.

සෙස්මා ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවේට් ලිමිටඞ් වාර්තාව අනුව පළමුව මුහුද ගොඩකිරීමේ යෝජනාව අධ්‍යයනය කළ යුතුයි. ඉන්පසු සෑහීමට පත්වන්නේ නම් ටෙන්ඩර් කැඳවා එය ප‍්‍රදානය කළ හැකියි.

කැබිනට් පත‍්‍රිකාවෙහි සෙස්මා ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවේට් ලිමිටඞ් කොළඹ වරාය පුරවරය සංවර්ධන ව්‍යාපෘතිය පදනම් කරගත් යෝජනාවක් බව සඳහන් වෙනවා. මම ඊයේ ඔබතුමා හට සෙස්මා ඉන්ටර්නැෂනල් ප‍්‍රයිවේට් ලිමිටඞ් වාර්තාවේ සඳහන් කොළඹ නගරයේ දිගු කිරීම හා වරාය සංවර්ධනය පිළිබඳ කොටස භාර දුන්නා. එහි වරාය නගරයට ආශ‍්‍රිත ව්‍යාපෘති ඇතුළත්ව තිබුණා. බැලූ බැල්මටම මෙයින් පෙනෙනවා වර්තමාන යෝජනාවත්, ඒ යෝජනාවත් අතර තිබෙන පරස්පරභාවය. ස්ථානයත්, යෝජනා ව්‍යුහයත් එකිනෙකට වෙනස්.

1998 නිකුත් කළ ටෙන්ඩර් පටිපාටියේ දෙවන කොටසේ 15 වන පරිච්ෙඡ්දයේ සඳහන් පරිදි අනපේක්ෂිත යෝජනා සළකා බැලෙන්නේ සුවිශේෂී අවස්ථාවලදී පමණයි. නමුත් මෙම කැබිනට් පත‍්‍රිකාවේ ඒ අවස්ථාව ගැන සඳහන් වී නෑ. ඒ වෙනුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට පෙර ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය මෙම සී.සී.සී.සී. සමාගම සමග අවබෝධතා ගිවිසුමකට ඇතුලත්වී තිබෙනවා. මෙය රෙගුලාසි උල්ලංඝනය කිරීමක්.

රජයේ රෙගුලාසි අනුව කැබිනට් මණ්ඩලය මගින් පත් කරන කමිටුවක් මගින් (එස්.සී.ඒ.ආර්.සී) මේ යෝජනා පිළිබඳ තක්සේරුවක් කළ යුතුයි. 1998 - 2004 වාර්තා සමග තක්සේරු කර වාර්තාව ලබා දිය යුතුයි. ඒ බව ප‍්‍රසම්පාදන මාර්ග දර්ශක 2 වන කොටසේ 2:3:7 කොටසේ පූර්විකාවෙහි සඳහන් කර තිබෙනවා. එබඳු තක්සේරුවක් කැබිනට් අනුකාරක සභාව මගින් සිදු කළාද යන්න ගැන මෙම කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ නෑ.

මෙම සී.සී.සී.සී. වාර්තාව පිළිබඳව කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ ආයෝජකයා තමා විසින්ම ඉදිරිපත් කරන අන් සොලිසිටඞ් ප්‍රෙපෝසල් හෙවත් අනපේක්ෂිත යෝජනාවක් වශයෙන්. එබඳු යෝජනාවලියක් සම්බන්ධයෙන් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉදිරියට යාමට එම ව්‍යාපෘතියෙන් රටට අසාමාන්‍ය ලෙස ප‍්‍රතිලාභ ලැබෙන බවටත් ඉතා හදිසි අවශ්‍යතාවක් වන බවටත් කරුණු ඉදිරිපත් කළ යුතුයි.

එහෙත් එබඳු කිසිදු කාරණාවක් ගැන කැබිනට් පත‍්‍රිකාවේ නැහැ. තවද මෙම ක‍්‍රියාපටිපාටිය අනුව අංක 3 කාණ්ඩ අංක 1 සහ 2 යටතේ එන 3:1 යටතේ සඳහන් වන සාධාරණීකරණය යටතේ දැක්වෙන්නේ මූල්‍ය කොන්දේසි හෝ මූල්‍ය කොන්දේසි පිළිබඳ අසාමාන්‍ය ප‍්‍රතිලාභ රටට ලැබෙන බව සහ හදිසි අවශ්‍යතාවය සාමාන්‍ය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීමට ඔප්පු කළ යුතු බවයි. එබඳු කාරණාවක් සාධාරණීකරණය කළ හැක්කේ තරගකාරී යෝජනා ලබා ගැනීමෙන් පමණි.

සී.සී.සී.සී. පමණක් නොව ඊට වඩා පැරණි විශාල ව්‍යාපාරික සමාගම් නෙදර්ලන්තය, ජපානය වැනි රටවල තිබෙනවා. එබඳු සමාගම්වලින් තරඟකාරී යෝජනා ලබාගෙන ඉඩම් පිළිබඳ සින්නක්කර අයිතිය ලබා දී මෙම ඉඩම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ගත් උත්සාහයක් පිළිබඳ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ නෑ. රටවල් ගණනාවක බැංකු මගින් වසර 25 කට වැඩි දිගුකාලීන ණය සැහැල්ලූ කොන්දේසි මත ණය ලබා ගැනීමට උත්සාහ කළ බවට සාධක මෙම පත‍්‍රිකාවේ සඳහන් වන්නේ නෑ. එබඳු සෝදිසි කිරීමක් නොමැතිව මෙය අනුමත කර තිබෙනවා.

කිසියම් ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත්වූ විට එහි කාර්මික සැලැස්ම කුමක්ද? ඊට මුදල් සපයා ගන්නේ කෙසේද? යන්න ගැන සොයා බැලිය යුතුයි. ඒ ගැන කැබිනට් පත‍්‍රයේ කිසිම සඳහනක් නෑ. මෙහිදී ඇත්තවශයෙන්ම ආණ්ඩුව පාර්ලිමේන්තුව හමුවේ දන්වා සිටියේ එම සමාගමට මුහුද ගොඩ කිරීමට හිලව් හැටියට හෙක්ටයාර් 20 ක් ලබා දෙන බවයි. එහෙත් කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ ගොඩ කර ලබා ගන්නා මුලූ ඉඩම් ප‍්‍රමාණය වන හෙක්ටයාර් 233 න් 108 ක්ම චීන සමාගමට ලබා දෙන බවයි. ඒ හෙක්ටයාර් 20 ක් සින්නක්කරව හා 88 ක් 99 අවුරුදු බද්දටය. සී.සී.සී.සී. සමාගමට කළින් ඉදිරිපත්වූ වාර්තාවල සඳහන් වූයේ මෙය රජයේ ව්‍යාපෘතියක් වශයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

අනපේක්ෂිත යෝජනා සම්බන්ධයෙන් අනුගමනය කළයුතු රජයේ රෙගුලාසි අනුව අංක 3 කාණ්ඩ 1 සහ 2 සඳහන් පටිපාටිය යටතේත්, 3:1 සාධාරණීකරණය යටතේ බී කොටසේ දැක්වෙන්නේ යෝජිත ආයෝජකයාගේ කීර්තිනාමය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

සී.සී.සී.සී. සමාගමට හොඳ කීර්තිනාමයක් නෑ. කොළඹ වරාය පුරවරය යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනවිට එම සී.සී.සී.සී. සමාගම ලෝක බැංකුවේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අංක 1.15 ඒ 2 යටතේ එන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් වැරදි හේතුකොටගෙන ලෝක බැංකුව මගින් තහනමට ලක් කර තිබුණා. ඒ පිළිබඳව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනය පවා ලෝක බැංකුව ප‍්‍රතික්ෂේප කර තිබුණා. චයිනා කොමියුනිකේෂන් කම්පැනි ලිමිටඞ් සහ චයිනා රෝඞ් ඇන්ඞ් බි‍්‍රජ් කෝපරේෂන්, චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනි ලිමිටඞ් අනුබද්ධ සමාගම් වශයෙන් ක‍්‍රියා කර තිබෙනවා. ලෝක බැංකුව හා මූල්‍ය ආයතන අතර ඇති නෛතික සම්බන්ධතාව අනුව යම් සමාගමක් එක් මූල්‍ය ආයතනයක කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අනෙකුත් මූල්‍ය ආයතනද අසාධු ලේඛනයට ඇතුළත් වෙනවා. මේ බව කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වෙලා නෑ.

ගරු කථානායකතුමනි,

මට චෝදනා කළ නිසා මේ කරුණු මා ඉදිරිපත් කරනවා. මේවා මෙසේ සිදුවීමට හේතුව කුමක්ද? කියා මට ප‍්‍රකාශ කළ හැකි නමුත් එහි පදනම විවාදයට තුඩු දෙන කාරණාවක් නිසා මෙහිදී ඒ පිළිබඳ කිසිවක් ප‍්‍රකාශ කරන්නේ නෑ. එබඳු කරුණු අපට පසුව විවාදයකදී ඉදිරිපත් කළ හැකියි. රජයටත් තමන් ගත් ක‍්‍රියාමාර්ගය ගැන පැහැදිළි කිරිමට පුලූවන්. එයත් විවාදයට ලක් කළ හැකියි. එබැවින් එසේ පැහැදිළි කිරීම හුදු කරුණුවලට පමණක් සීමා කරනවා. මෙතැනදී මතුවන්නේ වංචාවක් පිළිබඳ බරපතල චෝදනාවක්. මේ කාරණාව ගැන විවාද කිරීමට පෙර නුදුරු දිනකදී ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය පිළිබඳ පත‍්‍රිකා මේ ගරු සභාවට ඉදිරිපත් නොකළහොත් මහජනතාව කොළඹ වරාය පුරවරයේ වංචාව පිළිබඳ චෝදනාව පිළිගනීවි කියා මේ සභාවට යළිත් කණගාටුවෙන් සිහිපත් කිරිමට කැමතියි.

ඒ අනූව විපක්ෂනායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් නැවත කළ පැහැදිලි කිරීමක් කළේය.

http://sinhala.theindependent.lk/

0 comments :

Post a Comment