Wednesday, March 5, 2014

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්‍ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව ඇය වෙත පවරා ඇති නිල වගකීම් අබිබවා ගොස් ඒක පාර්ශ්විකව සැකසූ එකක් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (05) ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී පැවසීය.
ශ්‍රී ලංකාව වගකිවයුතු සාමාජිකයකු ලෙස ජගත් මානව හිමිකම් සංවිධානයේ කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අතළොස්සක් සාමාජිකයින් ශ්‍රී ලංකාව අත්පත්කරගෙන ඇති ප්‍රතිසංධාන ප්‍රගතිය අවතක්සේරුවට ලක් කිරීම හා දේශපාලනීකරණය කිරීම ගැන කනගාටුව ප්‍රකාශ කළේය.පසුගිය මාස 19 තුළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ආයතනයක් මගින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ රජය කටයුතු කර ඇති බව පීරිස් මහතා පෙන්වා දුන්නේය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ 91 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත අතර පසුගිය ජූලි මාසයේ තවත් නිර්දේශ 53ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත්ව ඇතැයි ද ඇමැතිවරයා සිහිපත් කළේය. මෙම කටයුතු සියල්ල ජනාධිපති ‍ලේකම් යටතේ පිහිටුවා ඇති අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් නිරීක්ෂණය කරන බව පීරිස් මහතා සමුළුවට දැන්වීය.

පසුගිය අගෝස්තු මාසයේ කුරිරු ත්‍රස්තවාදය පැවැති සමයේ අතුරුදන් වූ අය ගැන සොයා බැලීමට කොමිසමක් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පත් කළ බවත් පීරිස් මහතා තවදුරටත් පෙන්වා දුන් අතර දැනට පැමිණිලි 16,000ක් ගැන පරීක්ෂණ පවත්වන බව ද කීය.

උතුරු නැගෙනහිර අතුරුදන්වූවන් සම්බන්ධව එම කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳ සාක්ෂි විභාග පවත්වන්නේ එම පළාත් දෙකට ගොස් බව ද පීරිස් මහතා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති ප්‍රදේශවලට 1990 සිට සහය වන අතර අදත් යුද්ධය නිමාවීමෙන් පසුව ප්‍රතිසංධාන හා නැවත සංවර්ධන කටයුතුවලට සහය වන බව ඇමැතිවරයා කීය. අතුරුදන් වූවන්  සම්බන්ධවද  එම සංවිධානය  සහය වන බව මෙම සමුළුවට මතක් කරන්න  කැමති යැයි පීරිස් මහතා පැවසීය.

යුද්ධ පැවති පළාත්වල එල්.ටී.ටී ය විසින් වළලන ලද බිම් බෝම්බ ඉවත් කොට අවතැන් වූ දෙලක්ෂ අනූහත්දහසක්  ජනතාව නැවත පදිංචි කොට තිබෙන බවත් ඉතිරි හත්දහස් අනූ නවය ඉක්මනින්ම තම ගම්බිම් බලා යන බවත් ඇමැතිවරයා කීය.යුද්ධ පැවති සමයේ  උතුරේ පදිංචිව සිටි හැත්තෑ  පන්දහසක ජනතාව එල්.ටී.ටී ය විසින්  පලවා හැරිය බව  මම මෙම සමුළුවට මතක් කරන්න කැමැති යැයි පීරිස් මහතා සඳහන් කළේ ය. යුද්ධයෙන් ආබාධිත වූවන්ට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මත සියලුම පහසුකම් සැපයීමට රජය ක්‍රියාකොට ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ලබා දී ඇතැයි පීරිස් මහතා දන්වා සිටියේ ය.

යුද සමයේ රජයට පවරාගත් උතුරු නැගෙනහිර පෞද්ගලික ඉඩම් සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් නැවත නීත්‍යානුකූල හිමිකරුවන්ට භාර දී ඇති අතර යුද්ධයෙන් අලාභහානියට පත් නිවාස සඳහා මූල්‍යමය ආධාර ද ලබාදුන් බව ඇමැතිවරයා කීය.
උතුරේ ජනතාව සඳහා ඔවුනට පුද්ගලකිව අයත්ව තිබූ අක්කර හයසිය අසූ නවයක් නිදහස් කොට තවත් රජයට අයත් අක්කර තුන්දාහස් දෙසීය විසි දෙකක් ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා ලබා දී ඇතැයි ද ඇමැතිවරයා තවදුරටත් කීය. 

උතුරේ ජනතාවට අවශය නිවාස, රැකිරකීෂා, මහාමාර්ග, දුම්රිය මාර්ග, බස් හා දුම්රිය සේවා යථා තත්ත්වයට පත්කොට ඇතැයි කී ඇමැතිවරයා යාපනය අර්ධද්වීපයට විදුලිය දීමට චුන්නාකම් අනු විදුලි බලාගාරය නැවත ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන්නේ ය.

මෙම විදුලි බලාගාරය යුද සමයේ දී එල්ටීටීඊය විසින් විනාශ කර උතුරේ ජනයාට අඳුරේ සිටීමට ක්‍රියා කළේ යැයි ඇමැතිවරයා සිහිපත් කළේ ය.ජාතික සමගිය සම්බන්ධව ගෙන ඇති පියවර ගැන විග්‍රහ කළ අමාත්‍යවරයා දසවසරක ජාතික ත්‍රිත්ව සැලසුමක් මත සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ඒකරාශි කිරීමටත්, සියලුම රජයේ සේවකයන්ට භාෂාව ඉගෙන ගැනීමටත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද කීය.  ජාතික හැඳුන්ම්පත සිංහල හා දෙමළ භාෂාවෙන් නිකුත් කිරීම ජාතික සමගිය ස්ථාපිත කිරීමේ පියවරක් බවද පීරිස් මහතා සඳහන් කළේ ය. 

යුද සමයේ මුල් අවදිය ගැන සිහිපත් කළ අමාත්‍යවරයා එදා උතුරු නැගෙනහිර විසි තිස්පන්දහසක ජනතාව එල්ටීටීඊය විසින් පලවාහැර ඇති බව සඳහන් කළේය. අද කොළඹ නගරයේ ජනතාවගෙන් සියයට පනස් එකක් ද්‍රවිඩ හා මුස්ලිම් බව ද කියා සිටියේය.

තවදුරටත් සමුළුව ඇමතූ අමාත්‍යවරයා යුද්ධය නිමාවීමෙන් පසු අධිකරණයෙන් පුනරුත්ථාපනයට යොමු කළ එල්ටීටීඊ සාමාජිකයන් දොළොස් දහස් දෙසිය අසූ අටදෙනාගෙන් සියයට අනූහයයි දශම නවයක් පුනරුත්ථාපනය කොට සමාජයට යොමුකර ඇති බවත් දැනට එකසිය පනස් හත්දෙනකු පුනරුත්ථාපනය වන බවත් හෙළි කළේය. 

“තවඅසූහත් දෙනකු සම්බන්ධව අධිකරණය හමුවේ නඩු ක්‍රියාත්මක වන බව මම සඳහන් කරන්නට කැමැත්තෙමි.”උතුරුකරයේ යුද හමුදා බලඇණි ශක්තිය ක්‍රමානුකූලව අඩු කරගෙන යන බව සඳහන් කළ පීරිස් මහතා උතුරේ කාන්තාවන් හමුදාව අතින් දූෂණය වන බවට ඇතැමුන් කරන චෝදනා සියල්ල ප්‍රතික්‍ෂේප කළේය. 

උතුරේ සිවිල් පරිපාලනයට හමුදාවේ කිසිම සම්බන්ධතාවක් නැතිබව සඳහන් කළ පීරිස් මහතා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයක් පවත්වා උතුරු පළාතේ සිවිල් පාලනය එහි ජනතාව පත් කළ පළාත් සභාවකට භාරදී ඇතැයි කීය.ජතික ප්‍රශ්නය විසඳීමේලා පාර්ලිමේන්තු කාරක සභාවක් දේශපාලන පක්ෂ 21ක සහභාගිත්වයෙන් පත්කොට ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය එයට සහභාගි නොවීම ගැන තම කනගාටුව පළ කළේය.

“ඔවුන් සහභාගි නොවුවත් විසඳුමක් සෙවීමේ කර්තව්‍යයේ රජය නියැළී සිටිනවා.” යැයි අමාත්‍යවරයා තවදුරටත් කීය.ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජනතාවට ව්‍යවස්ථානුකූලව ආගමික නිදහස දී ඇති බවත් එය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඇමැතිවරයා කීය.

“මෑතක දී සිදු වූ ඇතැම් සිද්ධීන් සම්බන්ධව ඒවා නිවැරදි කිරීම රජය ගත් නිසි පියවර තුළින් රජය තම වගකීම් නිසියාකාරව ඉටු කරනවා.” යැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකා අධිකරණය ස්වාධීන බවත් විනිශ්චයකාරවරුන්ගේ හැසිරීම දෝෂාරෝපණයට ලක් වූ විට ව්‍යවස්ථාවට අනුව නිසි ලෙස විනයානුකූල පරීක්ෂණ පවත්වන බව ද කීය.

ශ්‍රී ලංකා රජය හැම විටම තම පුරවැසියාගේ මානුෂික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට සඳහන් කළ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හැම සැසිවාරයකටම සහභාගි වී ඒ බව මනාව ඔප්පු කර ඇතැයි ද කීය.ශ්‍රී ලංකා රජය විනිවිද පිළිවෙතක් අනුගමනය කරන අතර ගිය වසරේ මෙම කවුන්සිලයේ සභාපති නවිපිල්‍ලේ මහත්මියට සතියක කාලයක් මෙරටට පැමිණ නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසූ බව ද පීරිස් මහතා කියා සිටියේය.

http://www.rivira.lk

0 comments :

Post a Comment