Friday, July 25, 2014

පවතින වියළි කාලගුණයත් සමග බොහෝ ප‍්‍රදේශවල ජනතාව මුහුණපා සිටින්නේ උග‍්‍ර පානීය ජල ගැටලූවකටයි. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ වියළි කාලගුණය පවතින ප‍්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි. ජලාශවල ජල මට්ටමද පවතින්නේ ඉතා පහළ මට්ටමකයි. මේ හේතුවෙන් කෘෂි කාර්මික කටයුතු සඳහා ජලය මුදාහැරීමද ගැටලූකාරී තත්වයක පවතින බව මහවැලි අධිකාරිය පැවසුවා. මේ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා.
මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශවල ජල මට්ටම ඉතාම අඩුම මට්ටමක පවතින්නේ. පසුගිය මාස් කන්නයේ වර්ෂාව අඩුවෙන් ලැබීම සහ යල කන්නයේ වර්ෂාව අඩුවීම නිසා ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම 25%ක් තරම් ප‍්‍රමාණයක පවතින්නේ. මෙවර මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මහවැලි ජලාශ ආශී‍්‍රත ගොවිබිම්වල ගොවිතැන් කළේ 50%ක් වැනි භූමි ප‍්‍රමාණයක්. ඒ අනුව දැනට තිබෙන ජල මට්ටම ඉතාමත්ම අරපිරිමැස්මකින් සහ කළමනාකරණයකින් යුතුව ගොවිතැන් කටයුතු සඳහා භාවිත කිරීම නිසා වගා කරන භූමි ප‍්‍රමාණය දැනට තිබෙන ජල ප‍්‍රමාණය ඇති වෙයි කියලා විශ්වාස කරනවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මියගෙන්.
වියළි කලාපය ආවරණය වන සෑම ජලාශයකම ජල මට්ටම අඩුවෙලා තියෙනවා. ප‍්‍රධාන ජලාශ 71 සැලකූ විට සමස්තයක් ලෙස දැනට පවතින්නේ 20%ක ජල මට්ටමක්. සමහර ජලාශවල ජල මට්ටම 5%ක් වැනි තත්ත්වයකට අඩුවෙලා තිබෙනවා. සමහර සොරොව්වලින් ජලය නිකුත් කරන්න බැහැ. අන්තිම ජලමුරය නිකුත් කරන සමහර ජලාශවලට ජල පොම්ප කර ලබාදීමට සිදුවෙලා තියෙනවා. සමහර ප‍්‍රදේශයන්හි වගා ළිං සකස් කර දී තිබෙනවා.
පවතින තත්වය අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදාහැරීමේදී දැඩි ගැටලූවකට මුහුණපා ඇති බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නා.
යල කන්නය ආරම්භයේදීත් සතුටුදායක ජල මට්ටමක් නොතිබූ නිසා අපි ඉල්ලීමක් කළා වගා කරන භූමි ප‍්‍රමාණය සීමා කරන්න. එහෙත් එම ඉල්ලීම කෙරුණත් බලාපොරොත්තු ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් වගා කළා. එසේම අප විසින් නියම කරන ලද කාලයේදී වගාවන් ආරම්භ නොකිරීම නිසා යල කන්නයේ කාලය දීර්ඝ වී තිබෙනවා. එම නිසා වැඩිපුර ජලමුර දෙන්න වෙලා තියෙනවා. එහෙත් ජලාශවල තිබෙන ජල ප‍්‍රමාණය ඉදිරි මාස දෙකක් සඳහා රඳවා ගැනීමට සිදුවෙලා තිබෙනවා. වියළි කලාපයේ ජනතාවට පානීය ජලය සපයන්නෙත් මෙම ජලාශවලින්ම. මේවා කෘෂිකර්මය සඳහා පමණක් වූ ජලාශ නෙවෙයි. එසේම ගොවි ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම ඉතිරි වී ඇති ජලය ඉතාමත් අරපරිස්සමෙන් භාවිත කරන ලෙස. දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ක‍්‍රමවේදයන්ට අනුව භාවිත කර සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේදී ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාගෙන කටයුතු කරන බවයි මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රාජකරුණා මහතා කියා සිටියේ. ජලසම්පාදන මණ්ඩලය පානීය ජලය ලබාදීම සඳහා ජලය ලබාගන්නා ස්ථානයන්ට ජලය ලබාදීමට ප‍්‍රමුඛතාවයක් ලබාදී ඇති බවද ඔහු පැවසුවා. එසේම මුර ක‍්‍රමය යටතේ ගොවි ජනතාවට ජලය ලබාදීමට කටයුතු කරන බවත් ඒවායෙන් නිසි ප‍්‍රයෝජන ලබාගන්නා ලෙසත් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරුණා.
 http://nethfm.com/

0 comments :

Post a Comment