Tuesday, February 25, 2014

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මත්කුඩු ජාවාරම කරගෙන ගිය කුඩු රජකු වූ "කුඩු නුවන්" නමැත්තා සිටින ඩී වාට්‌ටුව ඊයේ (25 වැනිදා) බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සෝදිසි කිරීමේදී ත්‍රීඩී ජංගම දුරකථන සමඟ ජංගම දුරකථන 30 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කුඩු නුවන් නමැත්තා මත්කුඩු සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටී. ඔහු ත්‍රීඩී ජංගම දුරකථන තබාගෙන මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට බන්ධනාගාර බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම සෝදිසි මෙහෙයුම කර තිබේ.

මෙහිදී කුඩු නුවන් නමැත්තා සිටි කාමරය තුළ තිබී ත්‍රී ඩී ජංගම දුරකථනයක්‌, පුළුන් එබවූ මෙට්‌ටයක්‌ ද බුද්ධි අංශ භාරයට ගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ක්‍ෂණිකව කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 30 ක්‌ අත්අඩංගුවට ගෙන තිබෙන අතර දුරකථන වැඩි ප්‍රමාණයක්‌ සිවිලිම මත සඟවා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට සැකකරන නිලධාරීන් කිහිපදෙනකු සමඟ එස්‌. එම්. එස්‌. මගින් පණිවුඩ හුවමාරු කරගත් තොරතුරු ද හෙළි වී තිබේ.

කුඩු නුවන් නමැත්තාගේ උපදෙස්‌ මත බන්ධනාගාරයේ සිට අධිකරණවලට සහ බන්ධනාගාරයෙන් පිටත වැඩවලට රැගෙන යන රැඳවියන්ගේ රහස්‌ ප්‍රදේශවල සඟවා බන්ධනාගාරයට රැගෙන එන මත්කුඩු බන්ධනාගාරය තුළ අලෙවි කරන බව හෙළි වී තිබේ. ජාවාරමේ දිනක ආදායම ලක්‍ෂ දෙකක්‌ පමණ වන බව බුද්ධි අංශ නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත. එම මුදලින් යම් ප්‍රමාණයක්‌ බන්ධනාගාර නිලධාරීන්ට ද ලබාදෙන බවට තොරතුරු හෙළිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණයක්‌ ද ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ උපදෙස්‌ මත බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.


http://www.divaina.com/2014/02/26/news06.html

0 comments :

Post a Comment