Tuesday, February 25, 2014



තොපිට ඇත්ත කියන්න අපි බැඳිල නෑ 

අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමන්ට පිස්තෝලයක් ගෙනැවිත් දී එය පාවිච්චි කරන හැටිත් කියා දුන්නද?
රෝහණ විජේවීර 
ලොකු අතුල යම් යම් දේවල් කියා දුන්නා.

අපරාධ නඩු අධ්‍යක්ෂ 
ඒ කියන්නේ අවස්ථාව ලැබුණම තමුන් එය පාවිච්චි කරන්න බලාපොරොත්තු වුණා?
රෝහණ විජේවීර 
නැත්නම් එය තියාගෙන වැඩක් නැහැනේ.

අගවිනිසුරු 
1968 ඉඳලා ආයුධ රැස් කරමින් සිටි බව තමා දැනගෙන සිටියද කියන එකයි ප්‍රශ්නය.
රෝහණ විජේවීර 
සිරිවර්ධන ළඟ ආයුධ වගයක් තිබිලා අහුවෙලා තිබුණා. ඔහු එය පිළිඅරගෙන ඒ උඩයි මා එසේ කියා තිබෙන්නේ.
අගවිනිසුරු 
ඒ කියන්නේ 1970 මැතිවරණයට පෙරත් ටික දෙනෙක් හෝ වේවා ආයුධ බෝම්බ රැස් කළා කියන කතාව.

රෝහණ විජේවීර 
බෝම්බ ගැන මෙතැන සඳහන්වෙලා නැහැ. තමුන්නාන්සේලාට ආයුධ කියන වචනය බෝම්බවලට සමාන වුණාට මට ආයුධ කියන වචනය බෝම්බවලට සමාන නැහැ.
අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමා පුන පුනා කියා තිබෙනවා කියන්නේ ඇත්ත කියලා.
රෝහණ විජේවීර 
ඉයන් වික්‍රමනායකත් පොලිස් නිලධාරිනුත් මිනිස්සු කීප දෙනෙක් ගෙනත් බොරු කියවන විට මට මම කියන දේ ඇත්ත බව පුන පුනා කියන්න සිදු වුණා. ලොකු අතුල කියන්න සූදානම් වෙලා හිටියේ විජේවීර කියන්නෙ උපදින්නත් ඉස්සර හිටන් ආයුධ එකතු කරපු මිනිහෙක් කියන්න. එතකොට වික්‍රමනායක මහතාත් අන්න ඒක තමයි ඇත්ත කියනවා.

අලස් විනිසුරු 
එහෙම කිව්වා නම් තමුන්ට කතා නොකර ඉන්න තිබුණා.
රෝහණ විජේවීර 
මම කතා නොකර සිටි නිසා තමයි අපේ මිනිස්සු ටිකත් ගෙනත් ඉස්සරහට දැම්මේ.
දෙහෙරගොඩ විනිසුරු 
1970 මැතිවරණයට පෙර ආයුධ එකතු කළ බව තමා දැනගෙන හිටියා. නමුත් මැතිවරණයෙන් පස්සේ ආයුධ එකතු නොකරන ලෙස තමා ඔවුන්ට කියා සිටියා.
රෝහණ විජේවීර 
මම සාක්ෂියෙදි එහෙම දෙයක් කිව්වෙ නැහැ.

දෙහෙරගොඩ විනිසුරු 
ඔබ කිව්වා එක්කහු කරපුවා තියා ගන්න. තවදුරටත් එක්කහු කරන්න එපා කිව්වා කියලා.
රෝහණ විජේවීර 
මගෙන් ඔය ප්‍රශ්නය ඇසුවා. ඒක වැරැදියි. එහෙම කර නැහැ කියලා. සිරිවර්ධන සහෝදරයා ළඟ ආයුධ තිබුණා කියල ස්ටේට්මන් එකේ ප්‍රකාශය පිළිඅරගෙනයි ආයුධ තිබුණු බව ඔහු කියන්නේ. මාතර කෙනෙක් ළඟත් ආයුධ වගයක් අල්ලලා තිබුණා. එහෙම එක්කෙනෙක්, දෙන්නෙක් එකතු කර තිබුණා. ඒවා ව්‍යාපාරයේ  අනුදැනුම මත සිදුවූ දේ නෙවෙයි.
මා දැන් දන්නවා මාතර එක බොරුවක්. පොලිසිය බොරු නඩුවක් දාලා. ඒක බොරුවක් බව ඔප්පු වෙලා ඒ පුද්ගලයා නිදහස් කරලා.

අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමා කියා සිටින්නේ පුද්ගලයන් කීප දෙනෙක් සී. අයි. ඩී. නිලධාරීන් සමඟ ඇවිත් බොරු කියද්දී තමා ඇත්ත කියන්න උත්සාහ කළ බවද?
රෝහණ විජේවීර 
මම උත්සාහයක් දැරුවා කියන එක.
විමලරත්න විනිසුරු 
ඔය කියන්නෙ කරන්න දෙයක් නැතිව බොරුවලට එකඟ වුණා කියලද?
රෝහණ විජේවීර 
නැහැ මම එහෙම නෙවෙයි කියන්නේ. මේ ගොල්ල ගියහම මම දැන ගෙන සිටියේ නැහැ. මේ ගොල්ල හතුරාගේ පැත්ත අරගෙන සම්පූර්ණයෙන්ම හතුරගෙ ඒජන්තයො වෙච්ච බවක්. ඒක දන්නේ නැති වෙලාවේ මම හිතුවා මේ ගොල්ලො මේ අමාරුවෙ වැටිලා යම් යම් දේවල් බොරුවට හරි පිළිඅරගෙන ඇති කියලා. මමත් ඉස්සෙල්ලාම මුලදී යම් යම් දේවල් පිළිගත්තා. ඔවුන් මගේ ඉදිරියේ කියපු දේවල් මම පිළිගත්තා බොරු. ඊට පස්සේ මට තේරුම් ගියේ ඔවුන් වැටිලා බව.

විමලරත්න විනිසුරු 
ඔය දිග කතාන්තර කියන්නේ නැතිව ඒ ගොල්ලන් අහන ප්‍රශ්නවලට එහෙමයි ස්වාමීනි, කියලා කිව්වනම් ඇති නේද?
රෝහණ විජේවීර 
මම නම් කවදාවත් එහෙමයි ස්වාමීනි කියලා කිව්වෙ නැහැ. ‘ඇත්ත’ පත්තරකාරයා නම් දමල තියෙනවා. ‘එහෙමයි සර්’ කිව්වා කියලා. ඔය සාක්ෂියෙ කිසිම තැනක මම ඉයන් වික්‍රමනායකටවත් පොලිසියෙ කාටවත් සර් කියලා නැහැ. කොන්ද පණ නැති ‘ඇත්ත’ පත්තරකාරයො නම් යනවා ආණ්ඩුවට සර්, මැඩම් කියාගෙන. මම නම් කිසිම තැනක සර් කියන්නවත් ස්වාමීනි කියන්නවත් යන්නේ නැහැ. ධනපති පන්තියේ නියෝජිත හැතිකරයට මම කවදාවත් ස්වාමීනි කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

විමලරත්න විනිසුරු 
එහෙයි සර් කියලවත් කිව්වෙ නැද්ද?
රෝහණ විජේවීර 
මම කවදාවත් එහෙම කියල නැහැ. ටේප් එක දාලා පෙන්නන්න එක තැනක එහෙම තැනක් තියනවානම්. නමුත් ඇත්ත පත්තරකාරයෝ ජනතාවට බොරු පිට බොරු කියනවා. අපව දේශපාලන වශයෙන් ජනතාව ඉදිරියේ වැරැදිකාරයෝ කරන්න. නමුත් කවදාවත් ඔවුන්ට ඒක කරන්න බැහැ.

තාමෝදරම් විනිසුරු 
‘ඇත්ත’ කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්ත කියනවා කියන එක නේද?
රෝහණ විජේවීර
ඔව් ලෙනින් සහෝදරයා ‘ප්‍රවුඩා’ පුවත්පත පටන් ගන්න කොට එයට නම දුන්නේ ඇත්ත කියන තේරුමෙන් නමුත් ‘ප්‍රවුඩා’ පුවත්පත කලක් ඇත්ත කිව්වා. නමුත් මේ ඇත්ත පත්තරේ එහෙම නෙවෙයි.

අගවිනිසුරු 
ඇත්ත කිව යුතුයි.
රෝහණ විජේවීර 
හැම තත්ත්වයක් යටතේම ධනපති පන්තියටත් ඔවුන්ගේ ඒජන්තයන්ටත් ඇත්ත කියන්න අපි බැඳිලා නැහැ.
අපරාධ නඩු අධ්‍යක්ෂ 
තමන් අපහාසයට ලක් කරපු කිසිම කෙනෙක් නැහැ වගේ තමන්ගේ සාක්ෂිය දිහා බැලුවම.
රෝහණ විජේවීර 
ධනපති පන්තියේ විවිධ වෛවාරණ ආකාරයේ පුද්ගලයන් නිර්ධන පන්ති විප්ලවවාදීන් අපහාසයට ලක්කරනවා.

විමලරත්න විනිසුරු
‘ඇත්ත’ ධනපති පත්තරයක්ද?
රෝහණ විජේවීර
නැහැ. මේ සැරේ ඔවුන් ආයෙත් සාරි පොටේ එල්ලෙන්න යනවා.  

http://www.mawbima.lk/57-51631-news-detail.html

0 comments :

Post a Comment