ජනාධිපතිවරයා නිතිවිරෝධී ලෙස එක්සත් ජනතා සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයන්ට සහභාගී වන බවත් එමෙන්ම ජනධිපතිධුරයේ බලතල හා සම්පත් මැතිවරණ නීති අමු අමුවේ උල්ල්ලංඝනය කරමින් යොදා ගනිමින් සිටින බවත් එජාපය මැතිවරණ කොමසාරිස්වරයාට අද දින පැමිණිල්ලි කර ඇත.
එමෙන්ම ආරක්ෂක ලේකම්වරයාද මැතිවරණ නීතී උල්ලංඝනය කරමින් කටයුතු කරන බවත් ඔහු යටතේ වන ආයතනවල දේපලද මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් තිස්ස අත්තනායක මහතා ගේ අත්සනින් යුතුව මැතිවරන කොමසාරිස්වරයාට බාරදුන් ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.
එම ලියවිල්ල පහතින්.
2014 මාර්තු 13 දින
මහින්ද දේශප්‍රිය මහතා
මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමසාරිස් කාර්යාලය
සරණ මාවත
රාජගිරිය.
හිතවත් කොමසාරිස්තුමනි,
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දී මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධවයි.
රටක ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයක් වුවද, 2014 බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන මේ අවස්ථාවේදී ද ඒ සඳහා වූ නාම යෝජනා පෙබරවාරි 6 වනදා භාර දීමෙන් අනතුරුව මේ දක්වා මැතිවරණ නීති සහ ඔබ විසින් වරින් වර ලබා දුන් නියෝග රාජපක්ෂ රෙජීමය විසින් කඩ කිරීමේ සිද්ධීන් ගණනාවක් නිතිපතා පළාත් දෙකෙන්ම වාර්තා වේ.
විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ද, ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන් රජයේ විවිධ තනතුරු දරමින් ද රටේ පවත්නා මැතිවරණ නීති සහ ඔබ විසින් වරින් වර ලබා දුන් නියෝග කිසිදු චකිතයකින් තොරව එළිපිටම කඩ කරනු දැකීමත්, ඒ සිද්ධීන් පිලිබඳ මෙතෙක් විවිධ පාර්ශවයන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මැතිවරණ කොමසාරිසවරයා ලෙස ඔබ විසින් ගෙන නොතිබීමත් කණගාටුවට කරුණකි.
එම මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධීන් අතරින් මූලික සිද්ධීන් කිහිපයක් ඔබේ අවධානය පිණිස පහත සටහන් කරන අතර 2014 බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ නිදහස් සහ සාධාරණ බව ආරක්ෂා කිරීම සඳහා එම සිද්ධීන් පිළිබඳව මැතිවරණයේ අවසන් අදියර වන මේ අවස්ථාවේදීවත් ඔබ විසින් අපක්ෂපාතීව කඩිනම් පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ නීති කඩ කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ රටේ නීතිය සහ සාධාරණත්වය සුරැකීමට බැඳී සිටින රටේ පළමු පුරවැසියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටී. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස වගකීම් දරමින්ම සුපුරුදු ආකාරයෙන් ජනාධිපති ධුරයේ බලතල සහ සම්පත් අයුතු සහ නීති විරෝධී ලෙස මෙවර පළාත් සභා මැතිවරණයේ දී ද යොදා ගනු ලබන බව පෙනී යයි. ඒ අතුරින් පහත සඳහන් මූලික කරුණු කෙරෙහි අපි ඔබේ අවධානය යොමු කරවමු.
a. ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කර ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත් සභා බල ප්‍රදේශයන්හි රාජ්‍ය උත්සව සංවිධානය කරන අතර ඒ හරහා තම පක්ෂයේ අපක්ෂකයන්ගේ සහ පක්ෂයේ ජයග්‍රහණය සඳහා අයුතු සහ නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලේ. ජනාධිපතිවරයාගේ මෙම රැස්වීම් සහ උත්සව සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ජනතා මුදල් වැය කෙරේ.
b. ඒ අනුව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බස්නාහිර සහ දකුණු පළාත් සභා බල ප්‍රදේශයන්හි සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තබමින්ද, අඩක් නිම වූ ව්‍යාපෘති විවෘත කරමින් ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලේ.
c. ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වෙනදා අරලියගහ මන්දිරයේ දක්නට ලැබුණු දන්සල් සහ ප්‍රිය සාද මෙවර බස්නාහිර සහ දකුණු පළාත්වල මෙම මැතිවරණ සමයේ දක්නට ලැබේ.
d. මැතිවරණ කාලය තුළ ප්‍රචාරක පුවරු සහ පෝස්ටර් ඇලවීම තහනම් වුවද, මෙම මැතිවරණය ඉලක්ක කර ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල ජනාධිපතිවරයාගේ දැවැන්ත ප්‍රචාරක පුවරු, බැනර් සහ පෝස්ටර් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්ණ සහ ලකුණු ප්‍රදර්ශනය වන ආකාරයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ.
නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් මැතිවරණ නීති කඩ කිරීම
නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් පෞද්ගලිකවත්, ඔහු යටතේ ඇති ආයතන මාර්ගයෙන් ඍජුව සහ වක්‍රවත් මැතිවරණ නීති කඩකරමින් සිටී.
a. රජයේ නිලධාරීන්ට, විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන්ට දේශපාලන කටයුතු සඳහා සහභාගී වීම වරදක් බවට පැහැදිලි නෛතික විධි විධාන තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ කිසිවක් මායිම් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්විය. ඒ සම්බන්ධයෙන් අප පක්ෂය මීට ඉහතදී මබවෙත පැමිණිලි කළද, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නැත.
b. ආරක්ෂක ලේකම්වරයා යටතේ පවතින රණවිරු සේවා අධිකාරිය විසින් මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටී. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරිපත්ව සිටින විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රණවිරු සේවා අධිකාරියේ සම්පත් යොදාගනිමින් තිබේ.
උදාහරණයක් ලෙස, කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන විශ්‍රාමික හමුදා නිලධාරී විකුම් ගුණසේකර මහතාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා රණවිරු සේවා අධිකාරියේ GB 5509 වෑන් රථය සහ එම අධිකාරියේ රියදුරු කමල් හෙට්ටිආරච්චි යන අය මුදාහැර තිබේ.
මීට අමතරව එම අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රැස්වීම් සහ උත්සව සංවිධානය කිරීම සඳහා ආයතනයේ මුදල් රුපියල් ලක්ෂ ගණනින් වැයකර ඇති අතර එම උත්සව සංවිධානය කිරීම සඳහා ආයතනයේ සේවකයින් තිදෙනෙකුද යොදවා තිබේ. එසේම, මෙම මැතිවරණයට ඉදිරිපත්වී සිටින හිටපු හමුදා සාමාජිකයන්ගේ රැස්වීම්වලට පෞද්ගලිකවම සහභාගී වී ඇති රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි පත්මා වෑත්තාව මහත්මියත්, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා කිසිදු නීත්‍යානුකුල පදනමක් නොමැතිව දේශපාලන අවශ්‍යතා මත ඉඩම් බෙදාදීම සහ ආධාර ලබාදීම සිදු කරයි. මෙම කාරණා සහතික කෙරෙන ලිපි ලේඛනවල ඡායා පිටපත් ඔබේ කාරුණික අවධානය සඳහා මෙම ලිපියට අමුණා ඇත.
c. එසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින හමුදා සාමාජිකයන්ට ප්‍රසිද්ධියේ ආධාර, අනුබල ලබාදෙන රණවිරුසේවා අධිකාරිය 2014-01-16 දිනැතිව ඔබ විසින් නිකුත් කළ චක්‍රලේඛ අංක PCE/2014-03 මුළුමනින්ම නොසලකා හරිමින්, මැතිවරණය සඳහා ක්‍රියාකාරීව මැදිහත් වී ඇති නිලධාරීන් 5 දෙනෙකුට අංශ ප්‍රධානීන් ලෙස උසස්වීම් ලබාදී තිබේ.
එම නිලධාරීන් නම් චමිල් සමරසිංහ, හේමචන්ද්‍ර ගුණදාස, රවීන්ද්‍ර සමරවික්‍රම, සංජීව සෙනෙවිරත්න සහ මධුර යන අය වේ. මෙම නිලධාරීන්ගෙන් රවීන්ද්‍ර සමරවික්‍රම, සංජීව සෙනෙවිරත්න සහ මධුර යන අය කොන්ත්‍රාත් පදනමේ සිටි පුද්ගලයින් වන අතර එයිනුත් මධුර නැමැත්තා මෙම තනතුරට අදාළ මූලික සුදුසුකමක් වූ විශ්ව විද්‍යාල කොමිෂන් සභාව පිළිගත් උපාධියක්ද නොමැති අයෙකි.
d. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය වන පත්මා වෑත්තාව මහත්මියට ජානාධිපතිවරයා විසින් ඊයේ (12) දින සිට සේවා දිගුවක් ලබාදී තිබේ.
e. ඉහත දැක්වූ කරුණු සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් සිදුකර, කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමු.
මැතිවරණ සමයේදී සිදුකරන මාධ්‍ය අවභාවිතාව
ඔබ විසින් බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිර්දේශ මාලාව අමු අමුවේ උල්ලංඝනය කරමින් තිබෙන බව දැන් පැහැදිලිව පෙනේ.
a. ඔබ විසින් මාධ්‍ය වෙත ලබාදුන් නියෝග රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් බරපතල ලෙස කඩ කරමින් සිටී. මේ පිළිබඳව මැදිහත්වී, මෙම මාධ්‍ය අවභාවිතාව වහා නතර කිරීමට ක්‍රියාකරන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.
b. ඔබ විසින් මාධ්‍යභාවිතාව සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ මාලාව මේ වන විට හුදු ලියැවිල්ලකට පමණක් සීමා වී තිබේ. ඔබේ අවධානය විශේෂයෙන්ම එම නිර්දේශ මාලාවේ නිර්දේශ අංක 10 වෙත යොමු කරවමු. එහි දක්වා ඇති පරිදි ජනාධිපති, අගමැති සහ අමාත්‍යවරුන් වෙත මාධ්‍ය ආවරණ ලබාදීමේදී ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂයට ලබාදෙන ප්‍රචාරයක් ලෙස සලකා, මැතිවරණයට තරග කරන සෙසු පක්ෂ සහ කණ්ඩායම් වලටද ඒ හා සමාන ප්‍රචාරක අවස්ථාවක් ලබා දිය යුතුය. ඒ අනුව ඉකුත් සිකුරාදා (7) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍යවරුනට ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නොමිලේ ලබා දුන් ප්‍රචාරයට සමාන අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකතුමාට සහ නායකත්ව මණ්ඩලයටද ලබාදෙන ලෙස අදාළ මාධ්‍ය ආයතන වෙත නියෝග කරන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.
මෙම සිද්ධියට අදාලව අප පක්ෂයට සාධාරණය ඉෂ්ඨ කිරීම මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබේ වගකීම වන බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ඉහත කාරණා සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබේ අවධානය වහා යොමුකොට කඩිනම් පියවර ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.
මෙයට - හිතවත්,
තිස්ස අත්තනායක පා.ම.
(එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය වෙනුවෙන්)
http://sinhala.theindependent.lk/
8:47 PM
slnews
0 comments :
Post a Comment